Pages

සිංහල අලුත් අවුරුදු පණිවිඩ

ජනාධිපති

ජාතියේ පැවැත්ම උදෙසා අප රැකගත් උරුමයන් අනාගත පරපුරට දායාද කිරීමට අදිටන් කර ගනිමු යෑයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය අවුරුදු පණිවුඩයෙන් කියා සිටී.
එම පණිවුඩයේ මෙසේද සඳහන් වෙයි.
අලුත් අවුරුද්ද අනාදිමත් කාලයක පටන් අප පවත්වාගෙන ආ හෙළයේ මහා සංස්‌කෘතික මංගලයෙහි සූර්යාගේ ක්‍රියාකාරීත්වය හා බැඳි මිහිකතේ අපූර්වත්වය සිහිගන්වන මංගල්‍යයයි. කෘෂිකාර්මික ජීවන රටාවෙන් පෝෂණය වූ ශ්‍රී ලාංකිකයෝ අලුත් අවුරුද්ද අර්ථ පූර්ණව පිළිගත්හ. ඉන් ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.
අලුත් අවුරුද්දේ සැබෑම සතුට රැකෙන්නේ බත බුලතින් පිරි නිදහස්‌ රටකය. රට සහලින් ස්‌වයංපෝෂිත කර සශ්‍රික රටක්‌ සදාචාර සම්පන්න සමාජයක්‌ ගොඩනඟා සතුටින් පිරි අවුරුද්දක්‌ උදාකිරීමට කළ කැප කිරීම් අපගේ මහත් සැනසීමට හේතු වන්නේය. වර්තමානයේ වෙනදාටත් වඩා අප ජනතාව අලුත් අවුරුදු සම්ප්‍රදායන් ඉටුකරනු දැකීම හෙළයේ පැවැත්ම අගයන අප කාගේත් ඉමහත් සතුටට හේතුවෙයි.

අලුත් අවුරුදු සම්ප්‍රදායන් නිසා ගොඩනැඟෙන පවුල් බැඳීම් ලාංකික සමාජය තවත් ශක්‌තිමත් කරයි. එබැවින් අවුරුදු චරිත්‍ර ඉටුකොට අනාදිමත් කාලයක සිට අප රැකගත් උරුමයන් අනාගත පරපුරට දායාද කළ යුතුය. ජාතියේ පැවැත්ම තහවුරු වන්නේ එමගිනි. සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක්‌ වේවායි· ප්‍රාර්ථනා කරමි.
සිංහල අවුරුදු උලෙළ සාමූහිකත්වයේ සංකේතයයි
- අගමැති
අග්‍රාමාත්‍ය
සාමය, සතුට සහ සෞභාග්‍යය ගෙන එන ශ්‍රී ලාංකීය හෙළ සංස්කෘතික මංගල්‍යය වන සිංහල – හින්දු අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන්නේ හදපිරි සතුටිනි.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශි ගතවීම නව වසරක් උදාවීම පමණක් නොව, එය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ නව පිටුවක් සනිටුහන් වන සුවිශේෂී අවස්ථාවකි. නැවුම් අස්වනු නෙළාගත් හෙළවැසියන් සුබ මොහොතින් සියලු චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කිරීම අපගේ සමගිය හා සාමූහිකත්වයේ සංකේතයයි.

තිස් වසරක් තිස්සේ රට බියෙන් දවාලූ කිසිදා නිමා කළ නොහැකි යැයි සිතූ කුරිරු ත්‍රස්තවාදය සදහටම නිමා කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභීත නායකත්වය සැපයීය, යුද්ධය නිමා කිරීමත් සමඟ රට ගෝලීය වශයෙන් සංවර්ධනය කිරීමේ යෝධ මාවතට අප මේ වන විට අවතීර්ණය වී තිබේ.

අභීත රජ දරුවන් වසර ගණනාවක සිට කරන ලද දැවැන්ත ව්‍යාපෘති හා සමාන සංවර්ධන කාර්ය භාරයක්, ගත වූ වසර කිහිපයේ දී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් දියත් කර තිබේ.යහපත් ප්‍රාර්ථනා, යහපත් සිරිත් විරිත් සහ සමාජයීය හා සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් උදාවූ නව වසර පිළිබඳව නැවුම් බලාපොරොත්තු සඵල කර ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය, සතුට, සෞභාග්‍යය පිරි ශ්‍රී සුබ නව වසරක් වේවා! යි ප්‍රාර්ථනා කරමි. සැමට සුබ අනාගතය
 
මේ සියලු දෙනා සමඟ සතුට බෙදාගන්න අවස්ථාවක්
- විපක්ෂ නායක

විපක්‌ෂ නායක
දේශයේ අනාගතය බැබළවිය හැක්‌කේ සාමය සමගිය ඔස්‌සේ මිස බෙදා වෙන් කිරීම මත නොවේ යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් පවසා සිටී.

එහි මෙසේ ද සඳහන් වෙයි.

අලුත් අවුරුදු උදාවේ අපි සැවොම සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්නට පුරුදු වී සිටින්නෙමු. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඔස්‌සේ අපට පෙන්වා දෙන්නේ පවුලේ අය අතර පමණක්‌ නොව වටපිටාවේ ඥති මිත්‍රාදීන් සමග ද සාමය හා සතුට බෙදා හදා ගැනීමේ වැදගත්කමයි. මිනිස්‌ වර්ගයා වෙත පමණක්‌ නොව සතා සීපාවා, ගහ කොළ, ළිං ආදිය වෙත ද කෘතගුණ දැක්‌වීමේ අවශ්‍යතාවයයි.

එහෙත් අවාසනාවකට මේ සියලු යහ ගුණාංගයන් අද සමාජයෙන් අතුගා දැමීමේ පසුබිමක්‌ සැකසෙමින් පවතී. කළගුණ දැක්‌වීම වෙනුවට පාගා දැමීමත්, කරුණා මෛත්‍රිය පැතිරවීම වෙනුවට වෛරය අවුළුවාලීමත් දක්‌නට ලැබේ. තම තමන්ගේ බලය, වරප්‍රසාද රැක ගැනීමට බලවන්තයෝ මෙවැනි දුර්ගුණාංග සමාජය වෙත මුදා හැරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරති.

අප අලුත් අවුරුද්දේ මේ ප්‍රවණතාව පිළිබඳව සිහියෙන් විමසා බැලිය යුතුය. දේශයේ අනාගතය බැබළවිය හැක්‌කේ සාමය, සමගිය ඔස්‌සේ මිස බෙදා වෙන් කිරීම ඔස්‌සේ නොවේ. ඒ බව අවබෝධ කරගෙන මේ අලුත් අවුරුද්දේ සාමයේ හා සමගියේ සතුට පතුරවන්නට අපි සැවොම අදිටන් කර ගනිමු.