කාසියක් ගිල්වලා දරුවා මරා දාලා !

ඇය උපතින්ම ගොළු කතකි. අතින් පයින් දක්වන ක්‍රියාවලින් කට සොලවමින් කියනා දෙයින් ඇය කියන්නේ මොනවා දැයි අසා සිටින්නන් තේරුම් ගත යුතුය.විවාහක කතක වූ ඇය මීට දින එකොළහකට පෙර දියණියක ප්‍රසූත කළාය. කතා කිරීමට නොහැකි වුවද ඇය කිරි පොවමින් නලවමින් දරුවා බලා කියා ගත්තේ දැඩි සෙනෙහෙසකිනි.මේ අතර දරුවා ඉපිද දින එකොළහක් ගෙවී ගිය පසුගිය මස තිස් එක් වැනිදා සවස එක්වරම දරුවා රෝගී තත්ත්වයට පත් වූවාය. 

දරුවාගේ නාසයෙන් ලේ ගැලීමට පටන් ගත් අතර දරුවා කෑ ගසා හඬා වැටීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව සිටියේය.දරුවා රෝගී වූ බව දැනගත් ඇයගේ නැගණිය ද මැදිහත් වී දරුවා මාරස්සන රෝහලට රැගෙන ගියේය. එහෙත්...දරුවාගේ තත්ත්වය එතරම් සුබදායක නොවන බැවින් දරුවා මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට මාරස්සන රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේය.මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කැරුණු දරුවා ඊට පසුදා උදෑසන මෙලොවින් සමුගත්තාය. 

 සොයා ගැනීමට නොහැකි වූ රෝගී තත්ත්වයක් උත්සන්න වී මිය ගිය කිරිකැටියාගේ දේහය කපා පරීක්ෂා කළේ දරුවාගේ නාසයෙන් ලේ ගැලුවේ කුමන කරුණක් මුල් කරගෙනද, එම රෝගී තත්ත්වයෙන් දරුවා මිය ගියේ ඇයිද යන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම සඳහාය.
මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් දරුවාගේ සිරුර කපා පරීක්ෂා කොට බලා කියා සිටියේ දරුවාගේ උගුරේ කාසියක් සිරවී ඇති බවටයි. එම කාසිය උගුරේ සිරවීම හේතුවෙන් දරුවා මිය ගොස් ඇති බව හෙතෙම ප්‍රකාශයට පත් කළේය.

එය කුවේට් රටේ කාසියක් බවටද නිගමනය විය.දින එකොළහක් වයසැති දරුවකුට කිසිදෙයක් අතට ගැනීමට නොහැකිය. එසේ අතට ගත්තත් තනිව හරිහැටි මුවට දමා ගැනීමට ද නොහැකිය. එසේ නම් කවුරුන් හෝ දරුවාගේ මුවට කාසියක් දැමිය යුතුය.

දරුවාගේ මුවට කාසිය දැමුවේ යැයි මුලින්ම සැකය එල්ල වූයේ දරුවාගේ මව වෙතටය. විසිහය හැවිරිදි මෙම ගොළු මව අත්අඩංගුවට ගත් තලාතුඔය පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා ගොළු භාෂාව සම්බන්ධ මහනුවර විශේෂඥ භාෂා පරිවර්ථිකාව කැඳවන ලදී.

ඇය ගොළු භාෂාවෙන් සැකකාර මවගෙන් ප්‍රශ්න කළේ පොලිසියට අවශ්‍ය කට උත්තරය ලබා ගැනීම සඳහාය. භාෂා පරිවර්ථිකාව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය පවසා තිබූ තොරතුරුවලට අනුව දුප්පත් පවුලක උපන් ඇය උපතින්ම ගොළු කාන්තාවක් වූවාය.

නැතිබැරිකම් අගහිඟකම් හේතුවෙන් ඇයට අධ්‍යාපනයක් ද ලැබීමට නොහැකි වූ අතර කල් යත්ම ඇයට විවාහ යෝජනාවක් ආවේ ඇය වැනිම ගොළු පුද්ගලයකුගෙනි. ඔහු හා විවාහ දිවියට එළැඹිය ද ගෙවී ගිය පවුල් දිවිය නම් සාර්ථක වූයේ නැත. එහෙත් ඇය දරුවකු බිහි කළාය.

ගොවිතැන ජිවිකා වෘත්තිය කරගත් ඔහු ඇයගේ කුසහි දෙවැනි දරුවකුද පිළිසිඳ ගැනීමෙන් පසු ඇය දමා යන්නට ගියේ හිතක් පපුවක් නැත්තකු ලෙසිනි. දරු පැටියෙක් ද දරු ගැබක් ද සමඟ ඇයට මහ පාරට බසින්නට වූවාය. එහෙත් අසරණ වූ අක්කාට පිටු පෑමට ඇයගේ නංගීට සිත් දුන්නේ නැත.

ගැබිනි අක්කාත් දරුවාත් සිය නිවෙසට කැඳවාගත් නංගී අක්කාට ඇප උපස්ථාන කරමින් ඇය රැකබලා ගත්තේ මවක ලෙසිනි. මේ නංගී ද විවාහ වී සිටියාය. ඇගේ සැමියා යුද හමුදා සේවයේ නියුතුව සිටින බැවින් ඔහු නිවෙසට පැමිණෙන්නේ මසකට වරක් පමණි. ඔහු නොමැති කාලය තුළ නිවෙසේ තනිවන ඇයට අක්කාගේ පැමිණීම සිතට සැනසුමක් ගෙන දුන්නේය. අක්කාගේ වැඩිමල් දරුවාට ද ඇය බොහෝ සේ ආදරය කළාය.

කාලය ගෙවී ගොස් ගොළු කාන්තාවගේ දරු ප්‍රසූතිය ද සිදුවිය. ඇය දියණියක් මෙලොවට බිහි කළාය. දරුවා වෙනුවෙන් වියදම් කළේ නංගීය. දරුවාට කිරිදෙන අක්කා වෙනුවෙන් උපරිමයෙන් ඇප උපස්ථාන කළ ද ඇයට ද එතරම් ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ නැත.

දරු දෙදෙනා සමඟ තමාද නඩත්තු කිරීම සිය නැගනියට අපහසු බව සිතූ ඇය අවසන් තීරණයකට එළැඹියාය. ඒ...දරුවා මරා දමා ඒ බරින් නිදහස් වීමටය.එසේ නම් දරුවා මරා දමන්නේ කෙසේද? දිගින් දිගටම කල්පනා කළ ඇයගේ සිතට අදහසක් පහළ වූයේ නංගිගේ නිවෙසේ තිබෙන “ෆෙංෂුයි” පෙට්ටිය දැකීමෙනි. එම පෙට්ටිය තුළ නොයෙක් වර්ගයේ කාසි ඇත.

සැලසුම ක්‍රියාත්මක කිරිමට නියම වේලාව පැමිණෙනතුරු බලා සිටි ඇය “ෆෙංෂුයි” පෙට්ටියට අත දමා කාසියක් අතට ගත්තාය. එය දරුවාගේ කටට ඇතුළු කොට උගුරට තල්ලු කළාය.

කිසිවක් නොදත් කිරි සප්පයාගේ උගුරේ කාසිය සිරවිය. ළපටි සිරුරේ රුධිර නාලිකා පුපුරා දරුවාගේ නාස් පුඩු වලින් රුධිරය ගලා එන්නට පටන් ගත්තේය. නාසයෙන් ලේ පෙරෙමින් දැඩි වේදනාවෙන් දඟලන දරුවා දෙස ටික වේලාවක් බලා සිටි ඇයට දරුවා පිළිබඳ අනුකම්පාවක් ඇති නොවුණාම නොවේ. එහෙත්...එම අනුකම්පාව තමාගේ ඉලක්කය වෙත යාමට බාධාවක් බව සිතූ ඇය නිහඬව සිටියාය.

දරුවා මරා දැමීමට සිතා කාසිය ගිල්ලූවද දැන් නම් ඇයට ඉහිලුම් නොදෙන්නේය. ඇයගේ නැගණිය දරුවාගේ අසනිප තත්ත්වය දුටු අතර පසුව දරුවා මාරස්සන රෝහලට රැගෙන ගියේ ද මේ ගොළු මව විසිනි.

රෝහල් ගත කළ ද මවගේ අපේක්ෂාව මල්ඵල ගන්වමින් දරුවා ජීවිතයෙන් සමුගෙන ගියේය. පසුව දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් හමුවේ දරුවාට කාසිය හිර කළේ තමා බවත් ඇය පිළිගත්තාය.

ඒ අනුව අත්අඩංගුවට පත් මව මහනුවර මහේස්්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කැරිණි.මහනුවර කොට්ඨාස බාර පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලෙපොළ මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලිස් ස්ථානාධිපති සම්පත් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමක් පරීක්ෂණ වල නිරත විය.

තක්ෂිලා ජයසේකර

Gossip Lanka Hot News Previous News Archive