Pages

උතුරු නැගෙනහිර ජනතාව බරපතල වේදනාවකින් - ඉන්දීය මන්ත්‍රී

යුද්ධය හමාරවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල කිසියම් ආර්ථික සංවර්ධනයක් දක්නට ලැබුනත්, ප්‍රදේශවාසී දෙමල සහ මුස්ලිම් ජනතාව තවමත් බොහෝ ගැටලුවලට මුහුණ දී සිටින බව මෑත දී එම ප්‍රදේශවල සංචාරයේ යෙදුනු ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවසයි.

බලය විමධ්‍යගත කිරීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අරභයා කිසිදු ප්‍රගතියක් දක්නට නොවීම පිළිබඳව ප්‍රදේශවාසී ජනතා සිත් සතන් තුල බරපතල වේදනාවක් පවතින බවයි, මහාචාර්ය සෞගත රෝයි මන්ත්‍රීවරයා පවසන්නේ.බලය බෙදා හැර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සැබෑ අභිලාශයක් තිබෙන්නේද යන්න සැක සහිත බව ද ඔහු පවසයි.සමස්ත ඉන්දීය ත්‍රිනමුල් කොන්ග්‍රසය නියෝජනය කරමින් සංචාරයට සහභාගි වූ මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේ බීබීසී දෙමළ සේවයේ සිවරාමක්‍රිශ්නන් පරමේශ්වරන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
සමස්ත ඉන්දීය ත්‍රිනමුල් කොන්ග්‍රසය බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමතිනී මම්තා බැනර්ජීගේ නායකත්වයෙන් යුත් ප්‍රාදේශීය පක්ෂයක්.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව ප්‍රතිඥා දුන්නත් එවැන්නක් සිදුවන හැඩක් දක්නට නොලැබෙන බව ද තවත් ඉන්දීය මන්ත්‍රීවරුන් පස්දෙනකු සමඟ සංචාරයට එක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

විශේෂයෙන් යාපනය වැනි ප්‍රදේශවල ජන ජීවිතය ඉතා සාමකාමී බව බාහිරින් දකින්නට ලැබුනත්, ජනතා සිත් සතන් තුල කෝපයක් මෝදුවෙමින් පවතින බව ද මහාචාර්ය සෞගත රෝයි මන්ත්‍රීවරයා බීබීසී දෙමළ සේවයට පැවසීය.දැන් එම පලාත්වල ආයුධ සන්නද්ධ කණ්ඩායම් නොමැති බව සැබෑවක් මුත්, සිය ජීවිතය පිළිබඳව සතුටින් කථාකල කිසිවෙකුත් තමන්ට හමු නොවූ තරම් බවයි, ඔහු පවසන්නේ.සිය දූත පිරිස වුවමනාවෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ නොගසුන බව පවසන සෞගත රෝයි මන්ත්‍රීවරයා, ඒ වෙනුවට තමන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වූ බව ද ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා හමුවී ඡායාරූපයකට පෙනී සිටීමට සිය කණ්ඩායමට හැකියාව තිබුනද, ඇතැම්විට ඒ මගින් ඉන්දියාවේ වෙසෙන දෙමළ ජන හදවත් පෑරෙන්නට පවා ඉඩ තිබුන බව ඉන්දීය මන්ත්‍රීවරයාගේ අදහසයි. කෙසේ නමුත් ජනාධිපතිවරයා හැරුණු විට, ශ්‍රී ලංකා දේශපාලන තලයේ ප්‍රධාන චරිත සියලු දෙනාම පාහේ මෙන්ම ප්‍රදේශවාසී සිවිල් සමාජ නියෝජිතයන් මුණගැසී සාකච්ඡා කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මහාචාර්ය රෝයි කියා සිටියේය.