කොළඹ කාසල් කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ "ඉන්ෆ්ලුවන්සා ඒ" වෛරසය පැතිර යාම නිසා එහි ප්‍රතිකාර ලබමින් සිටි මව්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් මවක් අසාධ්‍ය තත්වයට පත්ව සිටී. එක් මවක් පෙරේදා (23) සවස මියගොස් තිබේ.
පෙරේදා සවස මිය ගිය මව බොහෝ කලක් දරුවන් නොමැතිව සිට ප්‍රථම දරු ප්‍රසූතියට සූදානමින් සිටි මවකි. එම මව් කුස සිටි බිළිදිය මව මිය යාමට පෙර මිය ගොස් තිබේ. ඇය දැරණියගල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක බවද වාර්තා වේ.
කොළඹ කාසල් කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පැතිර තිබූ විෂ බීජය "ඉන්ෆ්ලුවන්සා ඒ" වෛරසය බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් ඊයේ (24 වැනිදා) සොයා ගනු ලැබීය.මෙම වෛරසය දුර්ලභ ගණයේ වෛරසයක් නොවන අතර එය වසරකට කිහිපවරක් වාර්තා වන්නක් බව වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.
මෙම වෛරසයේ ආසාදනයට ලක්ව සාමාන්‍යයෙන් වසරකට රෝගීන් දෙදෙනකු පමණ රෝහල්ගත වීම ස්වභාවික බවද ඔවුහු පෙන්වා දෙති.දරු ප්‍රසූතියට ආසන්න ගැබිනි මව්වරුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉතා දුර්වල මට්ටමක පවතින හෙයින් එවැනි මව්වරුන්ට මෙම වෛසරය ආසාදනය වීමෙන් දැඩි බලපෑම් ඇති වන බවද වෛද්‍ය කණ්ඩායම පෙන්වා දී තිබේ.
මේ වන විට කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය හා වසංගත රෝග විද්‍යා අංශය එක්ව කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකය නිරෝධායනය කිරීම (විෂබීජ නැසීම) සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන තිබේ.එම ඒකකයේ සිටි රෝගීන් හුදෙකලා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් විෂ බීජය පැතිරීම පාලනය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.