Pages

යලිත් කළු ජූලියකට යන්න එපා - අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය

ආගම්වාදය සහ ජාතිවාදය මුල් කර ගනිමින් මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා කරන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය, 83 කළු ජූලිය අන්දමේ සිදුවීමක් යලිත් හට ගැනීම වැළැක්වීම සඳහා පෙරමුණ ගන්නා මෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ එම ව්‍යාපාරයේ සම පූජ්‍ය දඹර අමිල හිමියන් ආගම්වාදය සහ ජාතිවාදය මුල් කර ගනිමින් මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට දැරෙන උත්සාහය හඳුන්වා දුන්නේ "ඉතා අනතුරුදායක" ප්‍රවණතාවයක් ලෙසින්.ශ්‍රී ලංකාවේ සිංහල ජනගහණය ඉතා විශාල වශයෙන් පහල වැටී තිබෙන බවට කලෙක ඇතැම් කණ්ඩායම් ප්‍රචාරයක් ගෙන ගිය බව පෙන්වාදෙන එහිමියෝ, කෙසේ නමුත් 1981 දී 74% ක් වූ සිංහල ජනගහණය, 2011 දී 74.9% දක්වා ඉහල ගොස් ඇතැයි නිළ වාර්තාවල දැක්වෙන බව ද පවසති.

"ජාතිවාදයෙන් මුසපත් වී, උන්මාදයට පත්ව," ජාතිවාදී සංවිධානවලට උඩගෙඩි දීමෙන් බෞද්ධ භික්ෂු නායකත්වය වැළකිය යුතු බව උන්වහන්සේ අවධාරණය කරති.

"විවිධ බල සේනා" නමින් හැඳින්වෙන සංවිධාන වත්මන් යලිත් වරක් ආණ්ඩුවට බලය ලබා දීමේ "කෙක්කක්" බවට පත්ව තිබෙන බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය, ගාල්ලේ පැවති බොදු බල සේනා රැස්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගි වී එහි නායකත්වය අගය කිරීම මගින් දෙපාර්ශවය අතර පවතින සම්බන්ධතාවය සනාථ වන බව ද පෙන්වා දෙයි.