විදුලි ඒකකයක මිල ඉහළ යෑම හේතුවෙන් පාසල් ආපනශාලා හිමියන්ට රුපියල් 5000ත් 15,000 අතර අමතර මුදලක් මාසිකව ගෙවීමට සිදුවීම නිසා ඉකුත් 22 දා ආරම්භ වූ පාසල් දෙවැනි වාරයේ සිට රාත්රියේදී පාසල්වල ශීතකරණ නිවා දැමීමට සිදුවී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
සෑම පාසලකම කිරි පැකට් සහ යෝගට් වර්ග ළමයින් සඳහා අලෙවි කරන අතර සෑම දිනකම පාහේ මෙසේ රාත්රියට ශීතකරණ නිවා දැමීමට සිදුවීමෙන් එකී ආහාරවල පවතින ප්රමිතිය පිළිබඳ තමන් වගනොකියන අතර නුදුරු අනාගතයේදීම මෙම හේතූන් මත පාසල් ළමයින් රෝගවලට ගොදුරුවීමේ ප්රවණතාවක් පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.මෙම තත්ත්වය සලකා බලා පාසල් මඟින් හෝ රජය මැදිහත්වීමෙන් ආපනශාලා හිමියන්ට විදුලි බිල්පත සඳහා සහනයක් ලබාදෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
කිරි සහ යෝගට් වැනි දෑ ශීතකරණ තුළ තිබී දිනපතාම රාත්රියට ශීතකරණ නිවා දැමීමෙන් දිලීර වැනි දේ ඇතිවී පාසල් දරුවන් ලෙඩ වුවහොත් ඒ පිළිබඳ ආපනශාලා හිමියන්ට චෝදනා නොකරන ලෙසත් එසේ වීමට ප්රථම බලධාරීන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවත් අසේල සම්පත් මහතා කීය.
විදුලි මිල වැඩි කිරීම හේතුවෙන් ආහාරපානවල මිල ඉහළ දැමීමද සිදුකළ නොහැකි බවද එසේ කිරීමෙන් තම නිෂ්පාදන මිලදී ගැනීම පාසල් දරුවා ප්රතික්ෂේප කරන අතර විදුලි බිල ඉහළ දැමීමෙන් ආපනශාලා හිමියෝ දැඩි දුෂ්කරතාවකට පත්වන බවද හෙතෙම වැඩිදුරටත් ප්රකාශ කළේය.