Pages

පබාත් හිටපු සැමියාත් සමඟි වෙති

හිංසා නොකරන බවට සැමියාගෙන් පොරොන්දුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහර දුන්නේ යැයි ඇගේ හිටපු සැමියාට පවරා ඇති නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අධිකරණයේදී ඊයේ (5) එකඟ වූහ.

නඩුව සමථයකට පත් වීම සඳහා පැමිණිලිකාරියට යළි හිංසාවක් නොකිරීමට හිටපු සැමියා එකඟ විය. සමථයකට පත්වීම නිසා නඩු කටයුත්ත අවසන් කෙරිණි.2011.02.16 දින උඩහමුල්ලේ නිවසේ දී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහර දී බරපතළ තුවාල සිදු කළැයි මහේෂ් ච‍මින්ද මහතාට චෝදනා ඉදිරිපත් වී තිබිණි. නඩුව ටෙලි නාට්‍යයක් සේම නිම වූ බව නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් එම්.මාසිංහ මහතා සඳහන් කළේය.වසරක දෙකක ආසන්න කාලයක් තිස්සේ නඩුව අධිකරණය හමුවේ වාර ගණනාවක් ම කැඳවිණි.
විභාගයට ගත් මුල් අවස්ථාවේදීම අධිකරණය මඟින් මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකර තිබුණද එහිදී දෙපාර්ශ්වය එකඟතාවකට නොපැමිණි බැවින් නඩුව නැවැත අධිකරණයේදී විභාගයට ගැනුණි.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සුනීතා නානායක්කාර මහත්මිය හා මිරිහාන පොලිසියේ හිටපු ස්ථානාධිපති සෙනරත් එගොඩවෙල මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් විදුර පී. මංචනායක මහතා පෙනී සිටියේය. නුගේගොඩ මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ඉදිරියේදී ඊයේ (5දා) සමථයකට පත් විය.

ස්වර්ණමාලි මහත්මියගේ සැමියා වන මහේෂ් චාමින්ද මහතා මෙම සිද්ධියේ විත්තිකරු වන අතර පැමිණිලිකාරියට යළිත් එවැනි හිංසාවක් හෝ හිරිහැරයක් ඇති නොවන බවට ඇති කරගත් එකඟතාවයක් මත නඩුව සමථයකට පත් කර ගැනීමට විත්තිය හා පැමිණිලි පාර්ශ්වය කැමැත්ත පළකර ඇති බව දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.

පැමිණිලි හා විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා එම නඩුව ටෙලි නාට්‍යයක් ලෙස අවසන් වූ බව පවසමින් නඩුව තවදුරටත් පවත්වාගෙන යෑම අත්හිටුවා සමථය සඳහා අවසර ලබා දුන් අතර මහෙස්ත්‍රාත්වරයා එසේ පවසද්දී අධිකරණයේ සිටි බොහෝ දෙනකුගේ මුවගට සිනහ නැඟෙන අයුරුද දක්නට ලැබිණි.