"දිවි තොර කරගැනීම සඳහා කලකට ඉහත දී අනුගමනය කළ ප්‍රධාන ක්‍රියාමාර්ග වී තිබුණේ කනේරු ඇට කෑම එහෙමත් නැත්නම් කෘමි නාශක ගැනීම වැනි දේ. එහෙත් මේ වන විට ඖෂධ විෂවීම් අංක එකට පැමිණ තිබෙනවා. ඒ අතරිනුත් පැරසිටමෝල් විෂ වීම කැපී පෙනෙනවා."
යනුවෙන් කොළඹ ජාතික රෝහලේ ධූලකවේදය හා විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසී ය.ඒ මහතා එසේ පැවසුවේ පැරසිටමෝල් විෂ වීම අරභයා ඉකුත් සතියේ කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය ශ්‍රවණාගාරයේ දී පැවැති සම්මන්ත්‍රණයක දී ය.කොළඹ ජාතික රෝහලේ 2009 වසරේ දී සිදු කර ඇති සමීක්ෂණයකින් හෙළි ව ඇත්තේ ඖෂධ විෂවීම් හේතුවෙන් රෝහල්ගත වන්නන් ගෙන් සියයට 78ක් ම පැරසිටමෝල් විෂ වූ පුද්ගලයන් බව යෑයි ද වෛද්‍ය ගුණතිලක මහතා සඳහන් කර සිටියේ ය. පැරසිටමෝල් විෂවීම් ඉහළ යැම කෙරෙහි එම ඖෂධය පහසුවෙන් ලබාගත හැකි වීම මෙන්ම ඒ පිළිබඳව සිදු කෙරෙන සන්නිවේදනයන්හි අඩුපාඩු ද බලපා ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.
මෙවැනි විෂවීම් හේතු කොටගෙන රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ යැමක් පෙන්නුම් කරන බව වසර 2005-2009 අතර කාලය තුළ ජාතික මට්ටමින් වාර්තාගත ව ඇති සංඛ්‍යාලේඛන ඇසුරින් පෙන්වා දුන් වෛද්‍ය ගුණතිලක මහතා කෙසේ වෙතත් මේ වාර්තාවලට අනුව විෂවීම් හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඇතැම් වසරවල අඩු වී ඇති බව ද එයට එක් හේතුවක් විය හැක්කේ වෛද්‍ය පහසුකම්වල දියුණුව බව ද පැවසී ය.
මෙහි දී කරුණු ගෙනහැර දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පවසා සිටියේ පැරසිටමෝල් විෂ වූ රෝගීන් සියයට 78 අතරින් සියයට 90ක් ම හිතාමතා ම දිවි තොර කර ගැනීම සඳහා එම ඖෂධය පාවිච්චි කර තිබෙන බව ය. නොදැනුවත්කම නිසා අධිමාත්‍රාවකින් පැරසිටමෝල් භාවිතය නිසා එය විෂ වූ රොගීන් පිරිස ඉතිරි සියයට 10ට අයත් වන නමුත් අක්මාවට හානි වීම් වැඩියෙන් වාර්තා වන්නේ එම රෝගීන් අතරින් බව ද ඒ මහත්මිය සඳහන් කර සිටියා ය. එයට හේතුව වශයෙන් ඇය දක්වා සිටියේ මෙවැනි අය රෝහල්ගත වන්නේ පමා වී බවත්, ඒ වන විට අක්මාවට හානි සිදු වී අවසන් බවත් ය. ශ්‍රී ලංකාවේ සිදු කර ඇති සමික්ෂණවලින් පෙන්නුම් කෙරෙන්නේ ළ`ග ම ඇති රෝහල වෙත රෝගියකු ඇතුළත් කිරීමට පවා පැය 4ක කාලයක් (සාමාන්‍ය අගය) ගත වී ඇති බව යෑයි ද, කොළඹ ජාතික රෝහලට රෝගියකු ඇතුළත් කර ඇත්තේ පැය 8ක සාමාන්‍ය කාලයකින් පසුව යෑයි ද ඇය පෙන්වා දුන්නා ය.
"ඖෂධීය ප්‍රතිකාර සාර්ථක වන්නේ අක්මාවට හානි වීමට පෙර එය සිදු කළ හැකි වුවොත් පමණයි. ඒ වගේ ම පැරසිටමෝල් තවදුරටත් සිරුරට අවශෝෂණය වීම පාලනය කිරීම සඳහා සිදු කරන Activated charcol (අ`ගුරු) ප්රතිකර්මය පටන්ගත යුත්තේ පැරසිටමෝල් අධිමාත්‍රාව ගැනීමෙන් පැය 2ක් ඉක්මවා යැමට කලිනුයි. මේවා බොන්නට දීමෙන් පැරසිටමෝල් මේවාට උරාගන්නා නිසා ශරීරයට උරාගැනීම අඩු වනවා. එහෙත් පැය 2ක කාලය ඉක්ම ගියාට පසු පැරසිටමෝල් සිරුරට උරාගෙන අවසන් නිසා මේ ප්‍රතිකර්මයෙන් පලක් වෙන්නේ නැහැ. ඒ වගේ ම පැයක් ඇතුළත සිදු කළේ නැත්නම් වමනය කරවීම, සේලයින් බටයක් ම`ගින් ආමාශයික දියර පිටතට ගැනීම වගේ ක්රියාමාර්ගවලිනුත් පලක් වන්නේ නැහැ.
එක වර අධිමාත්‍රාවක් ගැනීමෙන් පමණක් නො ව දින 2-3ක් තිස්සේ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පැරසිටමෝල් ගත්තත් අක්මාවට හානි වෙන්න පුළුවන්. නොදැනුවත්කම නිසා වගේ ම වෛද්‍යවරුන් ගේ නො සැලකිල්ලෙනුත් මෙවැනි දේ වෙන්න පුළුවන්. විශේෂයෙන් ම දරුවන්ට පැරසිටමෝල් ලබා දිය යුත්තේ වයස අනුව නො ව ශරීර බර අනුව බව ඇතැම් දෙනා නො සලකන්නට ඉඩ තිබෙනවා. කිලොග්‍රෑම් 20ක් බර ළමයකුට වරකට ලබා දිය යුත්තේ (පැය 6කට වරක්) මිලිග්‍රෑම් 10-15 අතර පැරසිටමෝල් මාත්‍රාවක් පමණයි. වැඩිහිටියකු වුවත් පැරසිටමෝල් ගත යුත්තේ වරකට 2 බැගින් - පැය 6කට වරක්. හදිසි රාජකාරි කටයුත්තක් නිසා මිග්රේන් අඩු කරගැනීමට පැය 3කට වරක් පැරසිටමෝල් ගත් අයකු මිය ගිය කණගාටුදායක පුවතක් අපේ රටින් ළ`ග දී වාර්තා වුණා.
පැරසිටමෝල් විෂ වීම වළක්වාගැනීමට මෙවැනි ඖෂධ පහසුවෙන් ලබා ගැනීමට තිබෙන අවස්ථා ඇහිරීම වැදගත් පියවරක්. කුඩා දරුවන්ට හසු වන අයුරින් මේවා ගබඩා කර නො තැබීම වගේ ම දියුණු රටවල අනුගමනය කරනවාක් මෙන් වරකට පෙති 16කට වඩා පැරසිටමෝල් ෆාමසියකින් නිකුත් නො කිරීම වගේ පියවර වැදගත් වනවා. එයින් අපේක්ෂා කරන්නේ එක වර අධි මාත්‍රාවක් ගැනීම සඳහා ඇති වන මානසික ආවේගය සමනය වීමට අවශ්‍ය කාලය ලබා දීම. ඉතිරි පෙති ටික ගන්නට නැවත ෆාමසියකට යන විට අදාළ තැනැත්තා ගේ ආවේගය තරමක් සංසිඳී තිබෙන්නට පුළුවන්. මෙවැනි ඖෂධ වුවමනාවෙන් අධිමාත්‍රාවලින් ශරීරගත කරගැනීමට පොලඹවනසුලු මාධ්‍ය වාර්තාකරණයන් සිදු නො කිරීමට ජනමාධ්‍ය වගබලා ගැනීමත් අතිශයින් වැදගත්"යනුවෙන් ද මහාචාර්යවරිය සඳහන් කර සිටියා ය.
මේ අවස්ථාවට එක් වූ කොළඹ ජාතික රෝහලේ මානසික වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය මහතා මේ අරභයා ජනමාධ්‍ය අනුගමනය කළ යුතු පියවර අතර සිය දිවි නසාගැනීම් විචිත්‍ර හා භාවාත්මක ලෙස වාර්තා නො කිරීම, දිවි නසාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වඩාත් පැහැදිලි කර දෙන තාක්ෂණික උපදෙස් ඇතුළත් නො කිරීම, දිවි නසා ගැනීමට තැත් කිරීම යනු රිසි දේ ලබා ගැනීමේ නො වරදින ක්‍රමයක් ය යන අදහස කෙනකු තුළ ඇති වන අයුරින් වාර්තා නො කිරීම, ඔවුන්ට වීරත්වයක් ආරෝපණය නො කිරීම යනාදී කරුණු ගණනාවක් කෙරෙහි සැලකිලිමත් වීමේ වැදගත්කම අවධාරණය කර සිටියේ ය.
කොළඹ ජාතික රෝහලේ රසායනික ව්‍යාධිවේද අංශයේ විශේෂඥ වෛද්‍ය සරෝජා සිරිවර්ධන මහත්මිය ඖෂධ විෂවීම් සහිත රෝගීන් රෝහල් තුළ කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.
(ධාවක රාජසිංහ)