Pages

බෙන්තර උප සභාපතිට ගීතා කුමාරසිංහගෙන් ප්‍රහාරයක්

බෙන්තර ප්‍රාදේශීය සභාවේ ඊයේ (4 වැනිදා) පැවැති මාසික කමිටු රැස්‌වීමේදී ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ මහත්මිය එම ප්‍රාදේශීය සභාවේ උප සභාපති රංජිත් වික්‍රමසිංහ මහතා වෙත කෝපි ප්‍රහාරයක්‌ එල්ල කිරීමත් සමග රැස්‌වීම උණුසුම් වී කඩාකප්පල් වී ඇත. 
 බෙන්තර ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී මෙය සිදුවී තිබේ.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග පක්‍ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳව කළ මෙම සාකච්ඡාවට ආරාධනාවක්‌ මත බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මියද සහභාගි වී ඇත. 
 එහිදී සුහදව සාකච්ඡාව පැවැත්වෙමින් තිබී “රට නඟන නිල් රැල්ලට”සහභාගි වන ලෙස සංවිධායකවරිය විසින් ග්‍රාම නිලධාරීන්ට ලිපි යෑවීම නිසා රජය අපකීර්තියට පත්වන බව මා පැවසීමත් සමග සංවිධායකවරිය ඇය පානය කරමින් සිටි කෝපි කෝප්පය මගේ ශරීරය දෙසට වීසි කළා. ඒ වගේම ඉතා පහත් අයුරින් බැණ වැදුණා යෑයි බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති රංජිත් වික්‍රමසිංහ මහතා පැවැසීය. 

 ගාල්ල ප්‍රදේශයේ පැවැති රැස්‌වීමකදී ද සංවිධායකවරිය සහ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා අතර පසුගියදා ඇතිවූ සිද්ධියෙන්ද බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ දේශපාලනය කරන ආණ්‌ඩු පක්‍ෂයේ තමන් ඇතුළු දේශපාලනඥයන් කිහිප අවස්‌ථාවකදීම මහත් අපහසුතාවට මුහුණ දුන් බව තමා ඇයට පැවසුවේ යෑයිද උප සභාපතිවරයා කීය. තමාට කෝපි කෝප්පයෙන් ගැසීමෙන් පසු තනතුරු තානාන්තර අමතක කර සංවිධායකවරියට වචනයෙන් ප්‍රතිචාර දැක්‌වූ බවද කී උප සභාපතිවරයා කමිටු රැස්‌වීමක කෙරෙන වැඩ කටයුතු පිළිබඳව ඇයට අවබෝධයක්‌ නැතිකම නිසා එය මගහැර යැමට කළ උත්සාහයක්‌ ලෙස මෙය තමා දකින බවද කීය. ප්‍රාදේශීය සභාව ආරම්භ වී වසර දෙකක්‌ ගත වී තිබියදී මාසික රැස්‌වීමකට කුමාරසිංහ මහත්මිය ඊයේ (4 වැනිදා) පැමිණියේ දෙවැනි වතාවට බවද උප සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

- Divaina-