Pages

"ගෝල්ඩන් කී" තැන්පත් මුදල් වහා ගෙවන්න - ශ්‍රේෂ්ඨාධිකරණ


තවත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි අන්දමට කඩා වැටුණු සෙලින්කෝ "ගෝල්ඩන් කී" සමාගම නැවත පණ ගැන්වීම සඳහා අලුතින් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ පත් කිරීමටත් ලලිත් කොතලාවල සහ ඔහුගේ බිරිඳ වන සිසිලියා කොතලාවල ඇතුළු එහි ප්‍රධාන අධ්‍යක්‍ෂවරුන් නව දෙනා සතු සියලු වත්කම් පවරාගෙන ඉන් ලබන ප්‍රතිලාභ නව ව්‍යාපාරයට යෙදීමට සහ තැන්පත්කරුවන්ගේ හිඟ මුදල් ගෙවීමට හැකි ඉක්‌මනින් පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මහ බැංකුවට නියෝග කළේය.

ගෝල්ඩන් කී සමාගම හදිසියේම බිඳ වැටුණු 2008 ජුනි 30 දාට මාස 6 කට පෙර සිට එම අධ්‍යක්‍ෂවරුන් සතුව තිබූ සියලුම චංචල හා නිෂ්චල දේපළ යම් දේපොළක්‌ අන්සතු කර විකුණා පවරා හෝ තෑගි වශයෙන් දී ඇත්නම් ඒවාද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට යටත්වනු ඇත.
ප්‍රථමයෙන්ම ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්‍ෂවරු 9 දෙනාගේ වත්කම් ප්‍රමාණය කොතෙක්‌ද යන්න සොයා බලා ස්‌ථිරවම දැනගත යුතු අතර පසුව ඒවා අත්පත් කර ගැනීම සඳහා නියෝගයක්‌ ලබා ගැනීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කළ යුතු යෑයිද මහ බැංකුවට නියම කෙරිණි.එස්‌. කේ. එම්. පෙරේරා, ඡේ. එල්. එන්. ප්‍රනාන්දු, ඩී. ජී. එස්‌. පී. සුමනසේකර, ඒ. ඩී. ජෙගසෝති, පී. කේ. කරුණාරත්න මිය, එස්‌. ටී. කරුණාරත්න සහ ඩබ්ලිව්. ජී. බී. එම්. රණවීර ගෝල්ඩන් කී සමාගමේ අනිත් ප්‍රධාන අධ්‍යක්‍ෂවරු වෙති.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ හිඟ මුදල් ගෙවීම සම්බන්ධව ඇති ප්‍රශ්නය විසඳීම සඳහා අධ්‍යක්‍ෂවරුන් සතු පුද්ගලික වත්කම් ලබාදීමෙන් එම කාර්යයට දායක වන බවට අධ්‍යක්‍ෂවරු ශ්‍රේෂ්ඨාධිකරණය හා මහාධිකරණය හමුවේ කැමැත්ත ප්‍රකාශ කළ නමුත් ඊට පටහැනිව ඔවුන් ක්‍රියාකිරීම නිසා ඔවුන්ගේ දේපොළ පවරා ගැනීමට පියවර ගත යුතු යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අධ්‍යක්‍ෂවරු සතු දේපොළ හඳුනා ගැනීමට හා ඒවා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට විශේෂ කාර්ය සාධක කමිටුවක්‌ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ඇත.මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු, යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙක්‌, ශ්‍රේෂ්ඨ රජයේ නීතිඥවරයෙක්‌, නගර සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් එම කාර්ය සාධන කමිටුව සමන්විත වනු ඇත.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති මුදල් අවම වශයෙන් රුපියල් ලක්‍ෂ 3 කට යටත්ව මුලින්ම ගෙවන අතර පසුව විටින් විට ලැබෙන ප්‍රතිලාභ අනුව සියලු දෙනාටම සමාන පදනමක්‌ මත ගෙවනු ඇත. දැනට ගණන් බලා ඇති අන්දමට ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීමට ඇති සම්පූර්ණ මුදල රුපියල් දසලක්‍ෂ 9,179 කි.තැන්පත් මුදල්වලින් 41% වඩා ගෙවා ඇත්නම් ඒ සියලු දෙනාටම සම්පූර්ණ මුදල ගෙවා ඇති හැටියට සලකා ඔවුන් හිඟ මුදල් ගෙවීමේ වැඩපිළිවෙළින් ඉවත් කෙරෙනු ඇත.

ගෝල්ඩන් කී සමාගම නැවත නගාසිටුවීමේ වැඩපිළිවෙළ යටතේ ප්‍රථමයෙන් පත් කරනු ලබන අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය පාලක ප්‍රියන්ත ප්‍රනාන්දු, අධිනීතිඥ වී. කේ. චොක්‌සි, ජෙහාන් අමරතුංග, අරුණ ලේකම්ගේ, තැන්පත්කරුවන් වෙනුවෙන් පත් කරනු ලබන දෙදෙනෙක්‌ මහා බැංකුවේ අධිපති විසින් පත් කරනු ලබන නියෝජිතයෙක්‌ ඇතුළත් වනු ඇත.එකී යෝජනා ඇතුළත් සැලැස්‌ම මහා බැංකුවේ මූල්‍ය මණ්‌ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව එය ක්‍රියාවේ යෙදීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබිණි.

අගවිනිසුරු මොහාන් පීරිස්‌, පී. ඒ. රත්නායක සහ ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ නඩුව ඊයේ කැඳවන ලදී.
------------------------------------------------------------------- 
 The Supreme Court yesterday ordered that a new board of directors be appointed to the Golden Key Company Ltd., the properties owned by the former directors sold and the company’s depositors paid with the proceeds. President of Golden Key Depositers’ Association Dushyanthi Hapugoda after the order was delivered.