හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට විදේශගතවීම තහනම් කෙරේ. ඒ අනුව ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසම මඟින් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට මෙරටින් පලායා නොහැකි වන පරිදි එම කොමිසමට ඇති බලතල මත එම තහනම සිදු කර තිබේ.එම විදේශ ගමන් බලපත්‍රය තහනම් කර ඇති බවට අදාළ නියෝගය ඇතුළත් වාර්තාව එම කොමිසම මගින් පසුගිය 11 වැනිදා ආගමන විගමන පාලක ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතා වෙත යවා ඇත. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.ජේ. ද එස්. බාලපටබැඳි, හිටපු අභියාචනාධිකරණ විනිසුරු එල්.කේ. විමලචන්ද්‍ර සහ හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න යන කොමිසමේ සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම තහනම් නියෝගය ආගමන විගමන පාලක වෙත යවා ඇත.
ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පරීක්ෂණයක් සිදු කෙරේ. රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ඉපැයිය නොහැකි වූ තරම් වත්කමක් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සතුවූයේ කෙසේද යන්න සම්බන්ධ මේ වත්කම් පරීක්ෂණය පැවැත්වෙයි.
ඒ සඳහා ප්‍රකාශයක් ගැනීමට ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අල්ලස් කොමිසම දෙවතාවක්ම කැඳවා තිබිණි. එම අවස්ථා දෙකේදීම ඇය ප්‍රකාශයක් නොදී විවිධ විරෝධතා ඉදිරිපත් කරමින් ප්‍රකාශය දීමෙන් වැළකී ඒ සඳහා දින ලබාගෙන තිබේ.
ඒ අතර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මේ අල්ලස් පරීක්ෂණයට ඉදිරිපත් නොවී විදේශ රටකට පලා යාමට ඇති උත්සාහයක් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසම වෙත ලැබී ඇත. එබැවින් අල්ලස් කොමිසම ඇයට මෙරටින් පලා යා නොහැකි පරිදි ඇගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවා තිබේ.