
සිදු වී ඇති සිද්ධිය මෙසේ ය.
හම්බන්තොට ප්‍රධාන විදුලි බල සැපයුම් මධ්‍යස්ථානයේ සිට වෝල්ට් 33000 ක් අධි බලැති විදුලි රැහැන් වියදම් අවම කර ගැනීමේ අරමුණින් කිලෝ මීටර් 13 ක් ඇද ඇත්තේ අභය භූමිය ඔස්සේ ය. එසේ අධි බලැති විදුලි රැහැන් කැලෑව තුලින් ඇදීම සඳහා ලබා ගත යුතු පාරිසරික නිෂ්කාශනයන් (Environmental Clearance) කිසිවක් රාජකීය බල මහිමය නිසා ලබා ගෙන නොමැත. තමන් පැන දුවන්නේ වෝල්ට් 33000ක් අධි බලැති විදුලි රැහැන් මත බව නොදන්නා අභය භූමියේ සරන අසරණ වඳුරන් දිනපතාම විදුලි සැර වැදී මිය යමින් සිටිති. එසේ දිනකට මිය යන වඳුරන්ගේ ගණන අවම වශයෙන් 20-30 ක් වත් වේ.

මෙම තත්වය මත්තල ගුවන්තොටුපොල අධිකාරියේ විශේෂ අවධානයට ලක් වී ඇති අතර මේ පිළිබඳව ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගුවන් තොටුපොල අධිකාරියේ ඉහළ නිලධාරීන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් සමග අති විශේෂ රැස්වීමක් ලබන සතියේ කැඳවා ඇත.
මත්තල ගුවන් තොටුපොලට දිගින් දිගටම පහර දෙන වෙබ් අඩවි වලට මෙම පුවත කෙසේ වත් දැන ගැනීමට ඉඩ නොතබන ලෙසට ගුවන් තොටුපොල අධිකාරියට ඉහළින්ම දැනුම් දී ඇත.
මෙම තත්වයෙන් ගොඩ ඒම සඳහා ඇති විකල්පයන් වනුයේ මෙම අධිබලැති විදුලි රැහැන් කැලෑව මග හරවා වෙනත් මාර්ගයකින් මත්තල ගුවන් තොටුපොල වෙත රැගෙන ඒම හෝ අභය භූමියේ සියළු වඳුරන් වෙඩි තබා මරා දැමීම බව මේ පිළිබඳව අපට කරුණු හෙලි කළ මත්තල ගුවන්තොටුපොල අධිකාරියේ ඉහළ නිලධාරියා සඳහන් කර සිටි අතර කුරුළු උවදුරින් බේරීම සඳහා උන් දිය බොන දිය කඩිති වසා දැමූ ආකාරයට වස දී හෝ වඳුරන් මරා දැමීමට ඉහළින් නියෝගයක් අද හෙටම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදුලි සැර වැදී මැරී වැටෙන වඳුරන්ගේ මස් කෑම සඳහා ප්‍ර දේශයේ දඩාවතේ යන බල්ලන් විදුලි කුළුණු යටට වී බලා සිටීම මේ දිනවල සුළභ දසුනක් බව ප්‍රදේශවාසියෙකු මෙම කරුණු තහවුරු කරමින් අප හා පැවසීය
- lankanewsweb -