හොර මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යන්න එපා
නැඟෙනහිර මුහුදු තීරය ඔස්සේ ඕස්ට්‍රේලියාවට යෑම මෑතක සිට කොළඹ යනවටත් වඩා පහසු ගමනක් බවට පත්ව ඇත. කැන්ගරු සිහිනය බොඳ වී රිමාන්ඩ්ගත වීම ත්‍රිකුණාමලයේ ඊටත් වඩා සුලබ කාරණයකි. ත්‍රිකුණාමලය හා මඩකළපුව යන රිමාන්ඩ් බන්ධනාගාර මේ වන විට වැඩිමනක් පිරී ඇත්තේ නැඟෙනහිර මුහුදු තීරය හරහා ඕස්ට්‍රේලියාව කරා පැන යෑමට උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට පත් අයවලුන් හෙවත් කැන්ගරු සිහිනය බොඳ කරගත්තවුන්ගෙනි. ඉන් වැඩිම පිරිසක් සිටින්නේ, ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේය.
නැඟෙනහිර මුහුදු තීරය ඔස්සේ ඕස්ට්‍රේලියාවට යෑම මෑතක සිට කොළඹ යනවටත් වඩා පහසු ගමනක් බවට පත්ව ඇත. කැන්ගරු සිහිනය බොඳ වී රිමාන්ඩ්ගත වීම ත්‍රිකුණාමලයේ ඊටත් වඩා සුලබ කාරණයකි. ත්‍රිකුණාමලය හා මඩකළපුව යන රිමාන්ඩ් බන්ධනාගාර මේ වන විට වැඩිමනක් පිරී ඇත්තේ නැඟෙනහිර මුහුදු තීරය හරහා ඕස්ට්‍රේලියාව කරා පැන යෑමට උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට පත් අයවලුන් හෙවත් කැන්ගරු සිහිනය බොඳ කරගත්තවුන්ගෙනි. ඉන් වැඩිම පිරිසක් සිටින්නේ, ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේය.
අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම මෑතකදී හිටි හැටියේ ආරම්භ වූවක් නොවේ. මෙය කාලයක් මුළුල්ලේ දකුණු මුහුදු තීරයේ හොර රහසේ ක්‍රියාත්මක වූ මිනිස් ජාවාරමකි. බොහෝ දෙනකු නොදැන සිටියද, මීගමුව, හලාවත, කල්පිටිය, බේරුවල යන ධීවර වරායන් හරහා මෙම ජාවාරම කාලයක සිට ක්‍රියාත්මක වී තිබේ. නමුත් මෙය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ යුද්ධය අවසන් වී නැඟෙනහිර මුහුදු තීරය නිදහස් වීමත් සමඟය. මෙසේ අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන්නන් බොහෝ දෙනකු දමිළ ජාතිකයන් වීමත්, ඔවුන් උතුරු නැඟෙනහිර පදිංචිකරුවන් වීමත් ඊට හේතුවයි.
මුහුදු මඟින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම හෙවත් "කැන්ගරු සිහිනය" ක්‍රියාත්මක වනුයේ, බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමිනි. බහුදින ධීවර යාත්‍රාවක් ආසන්න වශයෙන් අඩි 50ක් පමණ දිගය. බහුදින ධීවර යාත්‍රාවකට දින 30ට ආසන්න කාලයක් මුහුදු රැකියාවේ යෙදීමේ හැකියාව ඇත. බහුදින ධීවර යාත්‍රාවක රැකියාව සඳහා යන ප්‍රමාණය හත් දෙනකි. මෙම ප්‍රමාණය ඊට වඩා අඩුවීමටද ඉඩ ඇත. දකුණු මුහුදු තීරයේ මෙම ප්‍රමාණය මීට වඩා අඩු වන අවස්ථාද ඇත. කෙසේ නමුත්, එතරම් සැප පහසුවක් නොමැතිව හතළිහකට පනහකට වුවද බහුදින ධීවර යාත්‍රාවක ගමන් කිරීමේ හැකියාව නැතුවා නොවේ.
අනවසර ඕස්ට්‍රේලියානු ගමන සඳහා බොහෝ විට යොදා ගන්නේ, කාලයක් මුළුල්ලේ ධීවර රැකියාවේ නිරතව, යාත්‍රාවේ වියදම මුළුමනින්ම ධීවර රැකියාවෙන් සොයා ගත් බහු දින යාත්‍රා බව වසර දහයක පමණ කාලයක සිට බහු දින යාත්‍රාවක ස්කිපර්වරයකු ලෙස කටයුතු කරන ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ ධීවර කාර්මිකයකු කියා සිටියේය. ඔහුගේ නියම නම නොවුණද පහසුව තකා අපි ඔහුව ජගත් ලෙස හඳුන්වමු.
ජගත් කියන අන්දමට මෙම අනවසර ඕස්ට්‍රේලියානු ගමනට යොදා ගන්නේ, වසර ගණනාවක් පැරැණි බහුදින යාත‍්‍රාවක්ය. ජගත් ද එක් වරක් ඔහුගේ මුදලාලිගේ හෙවත් ටැංකි බෝට්ටුව හිමිකරුගෙන් ඉල්ලීම මත මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ වූ අයෙකි. ආර්ථික අතින් බංකොලොත් වූ හා ඉක්මනින් මුදල් ඉපයීමට කැමැති බහුදින යාත්‍රා හිමියෝ බොහෝ විට තම පැරැණි යාත්‍රාව යොදා ගනිමින් ඕස්ට්‍රේලියානු ගමනක් සංවිධානය කරති. එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 4 - 7 දක්වා මුදලක් මේ සඳහා අය කරන අතර, ඇතැම් විට එය ලක්ෂ දෙකත් ලක්ෂ 10ත් අතර වන අවස්ථාද නැතුවා නොවේ.
ජගත් සිය මුදලාලිගේ ඉල්ලීම මත ඕස්ට්‍රේලියාවට යෑමට සිටි පුද්ගලයන් කිහිප දෙනකු ධීවරයන් සේ වෙස් ගන්වා ත්‍රිකුණාමලය වරායේ සිටි ඕස්ට්‍රේලියානු මුහුදු තීරය ආසන්නයට රැගෙන ගොස් වෙනත් යාත්‍රාවකට ඇරලවා පැමිණියෙකි. අනවසර ඕස්ට්‍රේලියානු ගමනේ බැරෑරුම්කම හා එහි ඇති අනර්ථය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අපි ජගත්ගේ කතාවට සවන් දෙමු.
ඇත්තටම කියනව නම් මම මේ ගමනේ බැරෑරුම්කම නොදැන නෙවෙයි මේ ගමන ගියේ. මගේ බොසා මුදල් අතින් ලොකු අමාරුවක වැටිලා හිටිය වෙලාවක එයාට උදවුවක් හැටියටයි මේ වැඩේට සම්බන්ධ වුණේ. ඕස්ට්‍රේලියානු කේස් එක නේවි එකට නෝණ්ඩි වුණාට පස්සේ බහුදින යාත්‍රා ගැන එයාලා ගොඩාක් අවධානය යොමු කළා. මේ නිසා වැඩේ ටිකක් අමාරු වුණා. ඊට පස්සේ මේ වැඩේට සම්බන්ධ අය නේවි එකට සැකයක් නොහිතන විදියට වැඩේ කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ, අපි නේවි එකේ කනෙන් රිංගලා කට්ටියම ඕස්ට්‍රේලියාවට ගෙනිච්චා. සමහරක් අය කියනවා නේවි එකට සල්ලි දීලා යනවා කියලා. නමුත් ඒක බොරුවක්. සමහරක් වෙලාවට නේවි එකත් සම්බන්ධයි කියලා පෙන්නලා යන අයගේ බය අරිනවා."
ජගත්ගේ මුදලාලි ඔහු වැටී සිටි වළෙන් ගොඩ ඒමට සංවිධාන කළ අනවසර ඕස්ට්‍රේලියානු ගමනට ඔහුට අයත් බහුදින යාත්‍රා කිහිපයක්ම යොදා ගනිමින් අෑත දියඹේ නතර කර තිබෙන බහුදින යාත්‍රාවකට අනවසර සංක්‍රමිකයන් රැගෙන යෑමට සූක්ෂ්ම වී තිබේ.
"අපි කොඩ්බේ වරායෙන් යද්දී, ධීවරයන් හත් දෙනකුට නේවි එකෙන් පාස් දාලා අරන් ගියා. කොඩ්බෙන් පිටත් වෙන යාත්‍රා ත්‍රිකුණාමලය කෝනේශ්වරන් කොටුව ඉස්සරහින් තමයි එළියට යන්නේ. අපි කොහොමත් කොඩ්බේ ඉඳන් හෙමි හෙමිහිට ඇවිත් රෑ 10 විතර වෙනකොට කොටුව ඉස්සරහට එනවා. ඊට පස්සේ, ඇත්තටම ඕස්ට්‍රේලියා යන්න ඉන්න පස් දෙනෙක් ත්‍රිකුණාමලය වෙරළෙන් ඩිංගි බෝට්ටුවකට නැඟලා අපේ බෝට්ටුවට ඇවිත් ගොඩ වෙනවා. අපේ බෝට්ටුවේ ඉන්න ධීවරයන් පස් දෙනෙක් අපි අර ඩිංගියෙන්ම නැවත ගොඩබිමට එව්වා. නේවි එක බෝට්ටුව ගාවට ඇවිත් බැලුවත් බෝට්ටුවේ ඉන්නේ හත් දෙනෙක් නිසා සැකයක් ඇති කර ගන්නේ නැහැ. මේ වගේ අපේ මුදලාලි බෝට්ටු තුන හතරකින්ම දියඹේ තිබුණ ටැංකියකට මිනිස්සු අරගෙන ගියා. හැබැයි මේ ඔක්කොම දෙමළ අය."
ජගත් කියන අන්දමට ඔහුගේ යාත්‍රාවෙන් ගෙන ගිය සියලු දෙනා අවුරුදු 40- 50 අතර වයසේ පසුවන දමිළ ජාතිකයන්ය. මෙම ගමන සඳහා එක් අයකු රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක් බෝට්ටු හිමිකරුට ලබාදී තිබේ. දින අටක් මුහුදේ යාත්‍රා කළ ඔවුන් සැතපුම් 200ක පමණ දුරක් යාත්‍රා කොට ඔවුන් ගෙන ගිය පිරිස වෙනත් යාත්‍රාවකට ගොඩකර තිබේ. එම යාත්‍රාවද ජගත්ගේ මුදලාලිට අයත් බහුදින යාත්රාවකි. බහුදින යාත්‍රා පහකින් පමණ මෙසේ පැමිණි තිහක පමණ පිරිසක් අෑත දියඹේ නතර කර තිබූ එම යාත්‍රාවට ගොඩවී ඇති අතර, අනතුරුව එම පිරිස රැගත් යාත්‍රාව ඕස්ට්‍රේලියාව කරා පිටත්ව ගිය බව ජගත් කියා සිටී.
ස්කිපර් ජගත් කියන අන්දමට මෙම ඕස්ට්‍රේලියා ගමන සඳහා ඩීසල් ලීටර් 5,000ක් පමණ වැය වේ. බහුදින යාත්‍රාවක ඩීසල් ලීටර් 6,000ක් පමණ ගබඩා කළ හැකි අතර, ඕස්ට්‍රේලියා ගමන සඳහා යන බොහෝ යාත්‍රා නැවත ශ්‍රී ලංකාවට නොපැමිණේ.
බහුදින යාත්‍රා ස්කිපර්වරුන් කියන අන්දමට ශ්‍රී ලංකාවේ සිට අඩුම දින ගණනකින් ඕස්ට්‍රේලියාව කරා ගමන් කිරීමට හැක්කේ, කිරින්ද යාල ප්‍රදේශයේ සිටය. කිරින්ද යාල සිට ඕස්ට්‍රේලියාවට ගමන් කිරීමට දින 12ක් වැය වන අතර, බේරුවල ධීවර වරායේ සිට ගත වන දින ගණන දින 15කි. ත්‍රිකුණාමලයේ සිට ඕස්ට්‍රේලියාව කරා ගමන් කිරීමට දින 18ක් පමණ ගතවේ. කාලගුණික තත්ත්වය හා මුහුදේ ස්වභාවය අනුව මෙම දින ගණන අඩු වැඩි විය හැකි බව ජගත් කියා සිටී.
ඕස්ට්‍රේලියාව කරා අනවසර සංක්‍රමිකයන් රැගෙන යෑමට ජාවාරම්කරුවන් යොදා ගන්නා බොහොමයක් බහුදින යාත්‍රා වසර ගණනාවක් රැකියාවේ යෙදුණ යාත්‍රා බැවින් අතරමඟදී කාර්මික දෝෂවලට ලක්වීම සාමාන්‍ය සිද්ධියකි. මේ නිසා ඇතැම් යාත්‍රා ඕස්ට්‍රේලියාවට නුදුරු මුහුදේ පාවෙමින් තිබියදී ඕස්ට්‍රේලියානු රේගු පොලිසිය විසින් හෝ වෙරළාරක්ෂක බළකාය විසින් එම පිරිස් ඔවුන්ගේ භාරයට ගන්නා බව කියැවේ. ඕස්ට්‍රේලියාව කරා හොර රහසේ ගමන් කරමින් සිටියදී කාර්මික දෝෂයක් හේතුවෙන් යාත්‍රාව අනතුරට පත්ව දින ගණනාවක් මුහුදේ පාවෙමින් සිටියදී ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බළකාය මඟින් මුදා ගත් යාත්‍රාවකට අයත් ත්‍රිකුණාමලයේ පදිංචි අජිත් ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව කරා බහුදින යාත්‍රාවෙන් ගොස් නැවත ගුවන් මඟින් ශ්‍රී ලංකාවට බැහැර කරවූ අයෙකි. අජිත් ඕස්ට්‍රේලියාව කරා ගිය ගමන අප සමඟ විස්තර කළේ මෙසේය.
"මේ ගමනට ගොඩක්ම එකතු වුණේ. අපේ පවුලේ කට්ටිය. අපේ පිරිසේ කාන්තාවනුත් හිටියා. එයාල අපේ පවුල්වලම සහෝදරයන්ගේ වයිෆ්ලා. මේ නිසා අපි සල්ලි දාලා බහුදින යාත්‍රාවක් මිලදී ගත්තා. අපි ගිය බෝට්ටුව දින ෙදාළහකට විතර පස්සේ මුහුදෙදි කැඩුණා. ඊට පස්සේ දින ගණනාවක් අපි මුහුදේ පාවි පාවී හිටියා. අපි හිතුවේ නැහැ ආයේ අපිට ගොඩබිමක් දකින්න ලැබෙයි කියලා. අපිට කෑම බීම නම් ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් බෝට්ටුව පාවෙලා යන්නේ කොහෙටද කියලා අපි බයේ හිටියේ. කොහොම හරි අපි ලංකාවේ අපේ නෑයන්ට කෝල් කරලා මේ බව කියලා අපිව බේර ගන්න කියලා කිව්වා. එයාලා අපේ නාවික හමුදාවට මේ බව කියලා තියෙනවා. ඒ වෙනකොට අපි ඉඳලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවේ. කොහොම හරි ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක බළකායෙන් ඇවිත් අපිව එයාලගේ නැවකට ගත්තා. ඊට පස්සේ අපිව කෙළින්ම ඩර්වින්වලට අරන් ගිහින් අපෙන් ප්‍රශ්න කළා. ඊට පස්සේ අපිව කෝකෝස් දූපතට ගෙනත් දැම්මා. එතැන ටික දවසක් ඉන්න කොට තමයි, එක පාරටම අපිට කිව්වේ සිංහල අයව නැවත ලංකාවට යවනවා කියලා. ලංකාවේ ආණ්ඩුව කැමැති නැහැ අපි ඔයාලව සරණාගතයෝ කියලා භාර ගන්නවට කියලා. ඊට පස්සේ තමයි අපිව ගුවන් මඟින් කටුනායකට එව්වේ. ඒ ආපු ගමන් අපිව සී. අයි. ඩී. එකෙන් අර ගෙන ගිහින් ප්‍රශ්න කරලා රිමාන්ඩ් කළා. පස්සේ තමයි ඇප දුන්නේ. අපි ලංකාවෙන් මේ වගේ අවදානම් ගමනක් ගියේ ඇත්තටම මේ රටේ අපිට ඉක්මනට දියුණු වෙන්න රස්සාවක් නැති හින්දයි. නමුත් ආණ්ඩුව හිතන්නේ තමන්ගේ නම්බුව ගැන විතරයි. අජිත් හෙළි කර සිටින අන්දමට ඔවුන් සමඟ ගිය දමිළ පිරිස ඔවුන් සමඟ ආපසු පැමිණ නැත. ඊට හේතුව දමිළ ජාතිකයන් නැවත ශ්‍රී ලංකාවට පිටමං කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර දමිළ සංවිධාන හා දෙමළ ඩයස්පෝරාව ඊට එරෙහි වීමයි.
"ආණ්ඩුවෙන් අපිට එක නීතියක්, දෙමළ අයට තව නීතියක්" අජිත් කලකිරීමෙන් කියා සිටී.
කොඩ්බේ පදිංචි හතළිස් එක් හැවිරිදි සේනක වීරරත්න දෙදරු පියෙකි. කාලයක් මුළුල්ලේ ධීවර රැකියාවේ යෙදුණ සේනක වීරරත්න මීට කලකට පෙර ධීවර රැකියාවේ යෙදී සිටියදී, ත්‍රස්තවාදී වෙඩි පහරකට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ අයෙකි. පවතින ආර්ථික ගැටලු අවම කර ගැනීමේ අරමුණින් ජාවාරම්කරුවකු හරහා බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට ගිය සේනක වීරරත්න ඕස්ට්‍රේලියානු රජය විසින් නැවත හරවා දිවයිනට එවන්නේ ගුවන් මඟිනි. සේනක වීරරත්න ඇතුළු පිරිස නැවත හරවා එවීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය කියා ඇත්තේ, ශ්‍රී ලාංකිකයන් සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාව කරා පැමිණීම පිළිබඳ ශ්‍රී ලංකා රජය අකැමැති බැවින් අකැමැත්තෙන් හෝ මෙසේ නැවත හරවා එවන බවයි. විශාල මුදලක් හා පරිශ්‍රමයක් දරා ඕස්ට්‍රේලියාවට ගොස් සති කිහිපයකින් නැවත ලංකාවට පැමිණීමට සිදුවූ සේනක වීරරත්න රජය පිළිබඳ කතා කරන්නේ මහත් කලකිරීමකිනි.
"අපි බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට ගියේ, ලංකාව අපකීර්තියට පත් කරන්න නෙවෙයි. සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගෙන දරුවොත් එක්ක සතුටින් ජීවත් වෙන්න. නමුත් ආණ්ඩුව හිතන්නේ අපි බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන එක රටට අවනම්බුවක් කියලා. ඊට වඩා රටට අවනම්බු දේවල් මේ රටේ නැද්ද? ඕස්ට්‍රේලියාව කියන්නේ රත්තරන් රටක්. මගේ ආබාධ වෙච්ච කකුල හදන්නත් එයාල පොරොන්දු වුණා. අපිට එහෙ ඉන්න දුන්න නම්, අපි හම්බ කරන සල්ලි අපේ රටට එන්නේ. අපිව ගෙන්න ගත්තට අපිත් එක්ක ගිය දෙමළ අයව නැවත එව්වේ නැහැ. දෙමළ ඩයස්පෝරාව එයාලා වෙනුවෙන් මැදිහත් වන නිසා එයාල එව්වේ නැහැ."
සේනක වීරරත්න සමඟ පහළොස් දෙනකු ඕස්ට්‍රේලියානු ගමන සඳහා එක්ව ඇත. සේනක සමඟ පස් දෙනකු ධීවරයන් සේ නාවික හමුදා බලපත්‍රය උපයෝගි කරගනිමින් ත්‍රිකුණාමලයෙන් පිටත්ව ඇති අතර ඉතිරි පිරිස මඩකළපුව ආසන්න මුහුදේ දී බෝට්ටුවට ගොඩවී තිබේ. ඔවුන් මඩකළපුවේ පදිංචි දමිළ ජාතිකයන්ය.
"අපි දවස් 18ක් විතර යද්දී කොකෝස් අයිලන්ඩ් එක කිට්ටුවට ආවා. ඊට පස්සේ කස්ටම් පොලිසියෙන් අපි බාර අරගෙන අයිලන්ඩ් එකට අරගෙන ගිහින් බස් එකක දාගෙන කොකෝස් එකේ ආගමන විගමන කාර්යාලයට අරගෙන ගියා. එහෙන් ප්‍රශ්න කරලා නැවැත ඩාවින් නුවරට අරගෙන ගියා. ඩාවින්වල තියෙන කඳවුරේ තමයි අපි හිටියේ. එතැන නේපාල්, ඉරාන්, ඉරාක්, ඇෆ්ගන්, ඉන්දුනීසියා වගේ ගොඩක් රටවල අය ඉන්නවා. හොඳට කන්න බොන්න දුන්නා. අසනීපවලට බෙහෙත් දුන්නා. අපිට කිව්වේ උඹලට භාෂාවයි රස්සාවකුයි උගන්නලා ඕස්ට්‍රේලියාවේ සිටිසන් දෙනවා කියලා. මෙහෙම ඉද්දි තමයි එක දවසක් රෑ 2.45ට විතර ඒ.එෆ්.පී. (ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය) ඇවිත් අපි 100ක් විතර සිංහල අයව නැවැත හරවලා යවනවා වහාම ලෑස්ති වෙන්න කියලා. එයාලා අපිට කිව්වේ අපි උඹලව තියාගන්න කැමැතියි. නමුත් උඹලගේ ආණ්ඩුවට ඒක ලැජ්ජාවක් කියලා නැවැත එවන්න කියලා කියනවා කියලා. ඒ නිසයි උඹලව යවන්නේ කියලා. මගේ කැඩිලා තියෙන කකුලත් එයාලා ඒ වෙනකොට හදන්න පටන් අරන් තිබුණේ. ඕස්ට්‍රේලියාව කියන්නේ රත්තරං රටක්. නමුත් අපේ රටේ බොරු පූචානමයි, කයියයි විතරයි.
සේනක කියන අන්දමට ඔවුන් සමඟ ගිය දමිළ ජාතිකයන් නැවැත හරවා එවන කණ්ඩායමට ඇතුළත් වී නොමැත. දමිළ ඩයස්පෝරාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම හා මැදිහත් වීම ඊට හේතුවයි. සිය කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නන් සඳහා මුලදී ඕස්ට්‍රේලියානු රජය රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාදී ඇතත් සේනක ඇතුළු පිරිස බලහත්කාරයෙන් පිටමං කිරීම නිසා එම මුදලද ඔවුනට අහිමිව ඇත. ඔවුන් කටුනායකින් මෙරටට පැමිණෙන විට අයි.එම්.ඕ. නමැති රාජ්‍ය නොවන සංවිධානයෙන් බස් වියදමට ලබාදුන් රුපියල් 400ක මුදලද මීගමුව උසාවිය තුළදී බන්ධනාගාර නිලධාරීන් විසින් උදුරා ගනු ලැබ තිබේ.
"මීගමුවේ ජේලර් ගාඩ්ලා හුළං ටිකක් වදින්න අපි එළියට ගත්තේ අපි ගාව තිබුණ රුපියල් 400ත් උදුරගෙනයි" සේනක වීරරත්න කියා සිටී.
මෙම මිනිස් ජාවාරම සිදු කරන ඇතැම් ජාවාරම්කරුවන් තම ජාවාරමට නාවික හමුදාවද සම්බන්ධ බව කියමින් මෙම ජාවාරම පසුගිය කාලයේ පවත්වාගෙන ගොස් ඇති බව මේ වන විට හෙළිවී තිබේ. ඇතැම් අවස්ථාවන්හිදී නාවික හමුදාවේ සමහරක් නිලධාරීන්ද හොර රහසේ මෙයට සම්බන්ධව ඇති බවත්, එය හුදෙක්ම හොර රහසේ සිදුවූවක් මිස නාවික හමුදාවේ අනුදැනුම මත සිදුවූවක් නොවන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුය.
"බෝට්ටුකාරයා අපෙන් ලක්ෂ 5-6 සල්ලි ගන්න කොට කිව්වේ මේකෙන් කොටසක් නේවි එකට දෙන්න ඕනෙ කියලා ඒ නිසයි ගාණ වැඩි කියලා ඒ නිසා අපි බය නැතුව සල්ලි දුන්නා. මොකද නේවි එකෙක් බේරිලා යන්න තියෙනව නම් වෙන ගැටලුවක් නැහැනේ. නමුත් අපිට යන්න වුණේ ටික දුරයි. නේවි එකෙන් අපිව අල්ලගත්තා. එතකොට තමා දන්නේ මේකට නේවි එකේ සම්බන්ධයක් නැති බව. අහුවුණාට පස්සේ එයාලා ආගිය අතක් නැහැ" ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට මුහුදු මඟින් යෑමට ගොස් නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වී නැවැත ආපසු හැරී ඒමට සිදුවූ ත්‍රිකුණාමලය වීරනගර් පාරේ පදිංචි එස්. නිශාන්තන් මහතායි. අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරීමේ වරදට ඔහු දින දාහතරක පමණ කාලයක් රිමාන්ඩ් ගතවී මේ වන විට ඇප මත නිදහස් වී සිටී.
ත්‍රිකුණාමලය - ඉන්ද්‍රචාප ලියනආරච්චි
මව්බිම පුවත්පත ඇසුරිනි