මම හිතුවා ඔළුවට කෝපි ටිකක් වැටුණාම මොළේ පෑදෙයි කියලා

Geetha Kumarasinghe
බෙන්තරින් පටන්ගත් 'කෝපි කෝප්පයේ කුණාටුව' මාධ්‍ය මඟින් මුළු රට පුරාම ගෙන ගියා. දැන් මම මෙතැනට ඇවිත් තේ කෝප්පය අතට ගන්න හදනකොටම අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටිකක් එහාට වුණා. මේක අතට ගත්තේ මොකටදැයි කියා බය වෙන්නැති. මම ඒ කතාවත් දැන් කියන්නම්. මේවා කුමන්ත්‍රණ.

අර විමල් වීරවංශ ඇමැතිතුමා කියනවා වගේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නෙවෙයි. මට විරුද්ධව ගේන ලෝකල් කුමන්ත්‍රණ යැයි බෙන්තර-ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. ප්‍රධාන සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවැසුවාය.
උපාධිධාරීන් හතළිස් අටදෙනකුට නව පත්වීම් ලිපි ලබාදීම සඳහා පැවැති මෙම උත්සවයේදී කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.මගේ ඉදිරියේදී ජනාධිපතිතුමාට කවුරු හරි බනිනවා නම් ‍ෙදාස් කියනවා නම් මට ඉවසගෙන ඉන්න බැහැ.
ඒගොල්ලො කියනවා මේ අමරබන්දු අල්විස් මහතා යූ.ඇන්.පී.කාරයෙක්ලු. ඒක ඇඟිල්ල දික් කරන්න තරම් දෙයක්ද? මම දන්නවා අල්විස් මහතා කලින් සංවිධායක සාගර කාරියවසම් මහතාටත් වැඩ කළා. මේ අය තවත් කියනවා මම පුංචි කාලේ යූ.ඇන්.පී.ලු. මේවත් කතාද? ඔය කියන කෙනා අද වනතුරුත් අපේ පක්‍ෂයේ සාමාජිකත්වය අරගෙන නැහැ. එයත් යූ.ඇන්.පී.කාරයෙක්.

ඉතින් 'කෝපි කෝප්පයේ කුණාටුව' ගැන කියන්න අමතක වුණානේ. ඒක මෙහෙමයි. අපේ ජනාධිපතිතුමාටයි, බැසිල් ඇමැතිතුමාටයි බනින විට මම කෝපි සංග්‍රහයක් කරයි කියලා එයා හිතන්නවත් නැතුව ඇති. එයා එතැනදි කියපු අසභ්‍ය වචන ටේප් එකේ තියෙනවා. මගේ අතේ තිබිච්ච කෝපි කෝප්පෙ ටිකක් වැක්කෙරුණා. හිත ගැස්සෙන විට අත ගැස්සුණා. වැඩියෙන්ම වැටුණේ ඔළුවට. මම හිතුවා ඔළුවට කෝපි ටිකක් වැටුණාම මොළේ පෑදෙයි කියලා.


ඒ අස්සේ ගයන්ත කියනවා මම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකුට කෝපිවලින් ගහලලු. මම කිව්වා ඔයාගේ නායකයා නම් අරලියගහ මන්දිරයට ඇවිත් නිතරම කෝපි බොනවා. ඒ විතරක් නෙවෙයි අපේ පක්‍ෂයේ හිටපු ජනාධිපතිනිය සමඟත් දැන් කෝපි බොනවා. ඔබතුමාටත් ඕනෑ නම් මාත් එක්ක කෝපි බොන්න එන්න කියලා.ගැහැනු කියන්නේ ගහන ගහන පදේට නටන කට්ටියක් කියලා සමහරු හිතන්නේ. එහෙම වුණේ ඉස්සර කාලේ. ඉස්සර ගැහැනුන්ව පාපිස්සට ගත් යුගයකුත් තිබුණා. ගාලු දිසා ඉතිහාසයේ එකම දේශපාලන සංවිධායකවරිය මමයි. වෙන කෙනකුට කරන්නත් බැහැ. කරන්න දෙන්නෙත් නැහැ. වෙන කෙනෙක් ආවා නම් මෙලහකට මේක දාලා දුවලා ගිහිල්ලත් ඉවරයි. මේක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.

ඡන්ද 5,000ක් ගන්න බැරි එකත්, අද සංවිධායකකම ගන්න පොර කනවා. මම මීට වඩා ලොකු තැන්වලට ගිහින් තියෙනවා. ඒ නිසා මේක මට සුළු දෙයක්. අද මේ උපාධිධාරීන් අතර කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. පිරිමින්ට වඩා කාන්තා පිරිස වැඩියි. ගාලු දිසාවේ ඡන්දදායකයන් අතරත් කාන්තාවන් වැඩියි. ඒ නිසා කාන්තාවක වශයෙන් මට වරදින්නේ නැහැ. කාන්තාවන් මා ගැන බලා ගනීවි. ලබන සැරේ ප්‍රාදේශීය සභාවටත් කාන්තාවන් වැඩි පිරිසක් දාන්න හැකි වෙයි.


රෝස මල් යහනාවල ඉන්න බලාගෙන නම් දේශපාලනයට එන්න ඕනෑ නැහැ. නිරන්තර ගැටුම් මතවාද දේශපාලනයේදී ඇතිවෙනවා. නොයෙක් දෙනා සමඟ විවිධ මතගැටුම්වලට මුහුණ දිය යුතුයි. ඒ සඳහා මට දැඩි ආත්ම විශ්වාසයක් තිබෙනවා. ප්‍රශ්නවලට, ගැටලුවලට, මුහුණ දීමේ ශක්තියක් නැතිව දේශපාලනය කරන්න බැහැ. අපේ රටේ දේශපාලනයේ බටර් ගෑම් තියෙනවා. ඒත් මේ පත්වීම් දීම බටර් ගෑමක් නෙවෙයි. මේ උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී පක්‍ෂ, පාට කිසිවක් හෙව්වේ නැහැ. මට අවශ්‍ය වුණේ මේ ප්‍රදේශයේ උගත් පිරිසට සාධාරණයක් කිරීමටයි.
මේවා මටවත් මගේ දරුවාටවත්, සැමියාටවත්, පවුලටවත් කරන දේවල් නෙවේ. ඒ අය මේ පැත්තටවත් එන්නේ නැහැ. මම නම් පැය විසිහතරම මේ ජනතාව අතරේ ඉන්න සූදානම්. මම ඡන්දයෙන් පැරැදුණු ගමන් කවුරුත් නොකරන වැඩක් කළා. සංවිධායක ධුරය භාර ගත්තා. මේක භාර ගත්තේ අල්පෙනෙත්ති තුඩක වාසියක් බලාගෙන නෙවෙයි. මේ පැත්තේ එක මන්ත්‍රිවරයෙක්වත් නැතුව මම විශාල සටනක් කරනවා. මෙහේ ප්‍රාදේශීය ලේකම් එක කතාවක් කියනවා.

මම මේ ළඟදි පාර්ලිමේන්තුවට ගියා. බැසිල් ඇමැතිතුමා යටතේ හැම ආසනයකටම පාලම් දෙනවා. අපට විතරක් නැහැ. මේක දැනගත් වෙලාවේ ඉඳලා මට ඉවසුමක් නැහැ. එදා රෑ මට නින්ද ගියෙත් නැහැ. හිපන්වත්තට පාලමක් ඉල්ලා මම අදම ලිපියක් ඉදිරිපත් කරනවා. මේ කුමන්ත්‍රණ ගනන් ගත්තොත් මට වැඩ කරන්න බැරි වෙනවා. මේ උපාධිධාරීන් ජනාධිපතිතුමාට විශාල ශක්තියක් ලබා දුන්නා. එතුමාගේ සෙවණැල්ල වගේ හිටියා.

යූ.ඇන්.පී. කාලේ එක උපාධිධාරියකුට පත්වීමක් දීලා නැහැ. ජනාධිපතිතුමා මේ බුද්ධිමතුන්ට රැකියා ලබාදී ඔවුන් ඉහළට ඔසවා තැබුවා. හිටපු ජනාධිපතිනියගේ කාලයේදීත්, උපාධිධාරීන්ට රැකියා දුන්නා. එහෙම බලනවිට අපේ රජයන් මඟින්ම තමයි හැමදාමත් උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබාදී ඇත්තේ. ඉදිරි කාලයේදී මේ වගේ තුන් ගුණයකින් උපාධිධාරීන්ට රැකියා දීමට රජය දැන් පිඹුරුපත් සකස් කර ඉවරයි.

මම දේශපාලනයට ආ දවසේ සිට විවිධ ගැටලු ආවා. ඒත් අද මට හරිම සතුටු දවසක්. මේ පත්වීම් තුළ මගේ දහදිය, සුසුම් රැඳී තිබෙනවා. සෙරෙප්පු කැඩෙනකම් මම කී පාරක් අරලියගහ මන්දිරයට ගොස් ඇත්ද? මේවා ලබාදීමට නොහැකි වුණා නම් මගේ හෘද සාක්‍ෂියට ගැලවීමක් නැහැ.

-සබැදි පුවත්-

Gossip Lanka Hot News Previous News Archive