බෙන්තර පඟරනැට්ටෝ කියන කතා වලට මාව වට්ටන්න බැහැ - Geetha Kumarasinghe

ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් මට දකුණේ මහ ඇමැති වෙන්න බැරි ඇයි?
ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් වූ ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් ලංකාවේ ගීතා කුමාරසිංහට මහ ඇමැති වෙන්න බැරි ඇයිදැයි බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි.පක්‍ෂ ප්‍රධාන සංවිධායිකා සිනමා නිළි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කරන්නීය.

දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්ත්‍රි බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් ගීතා ජයලලිතා කෙනෙක් වෙන්න හදනවා යැයි මාධ්‍යයට කරනු ලැබ ඇති ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇය මේ බව සඳහන් කළාය.

තවදුරටත් අදහස් දක්වමින් ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.මහ ඇමැති වෙන්න මගේ ඔළුවේ කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔය කියන මන්ත්‍රිවරයා මගේ ඔළුවට මෙවැනි අදහසක් දාපු එක ගැන එතුමාට ස්තුතිවන්ත වෙනවා. දැන් මගේ ඔළුවේ වැඩ කරන්නේ මහ ඇමැතිකම. ඒ සඳහා ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩකරනවා. ජයලලිතාට මහ ඇමැති වෙන්න පුළුවන් නම් ලංකාවේ ගීතා කුමාරසිංහට මහ ඇමැති වෙන්න බැරි ඇයිදැයි ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි.පක්‍ෂ සංවිධායක ධුරයෙන් ඉවත්කොට ඇති බවට පැතිරී යන ආරංචිය පිළිබඳ අප කළ විමසුමකදී ඇය මෙසේ කීවාය.

ඕක පට්ටපල් බොරුවක්. බෙන්තර ඇල්පිටිය ආසනයේ හිටපු සංවිධායකවරයාගේ මල්ලි, නියෝජ්‍ය කතානායකතුමා ඇතුළු කිහිප දෙනෙක් තමයි ඔය බොරු ප්‍රචාරය ගෙනයන්නේ. ගාල්ලේ පුස් දේශපාලනඥයන් තමයි ඔය කතා පතුරුවන්නේ. මම ශ්‍රී ල.නි.පක්‍ෂය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. පක්‍ෂය වෙනුවෙන් කැපවෙනවා.

දැනට බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ්‍රී ල.නි. පක්‍ෂයට සාමාජිකයන් විසිදහසක් බඳවාගෙන තියෙනවා.
මාගේ ඉලක්කය එම සාමාජිකයන් සංඛ්‍යාව තිස්දහස දක්වා වැඩිකර ගැනීමයි. විකාර කතා තමයි ඔය පතුරුවන්නේ.

තේ කෝප්පයක කතාවක් පටලවාගෙන මට මඩ ගහනවා. එයා ඔය උප සභාපතිවරයා හරිම නරක වනචර විදියට තමයි මට කතා කළේ. එම හඬපටය මගේ ළඟ තියෙනවා. ගැහැනු දැන් කටපියාගෙන ඉන්නේ නැහැ. මමත් දකුණේ උපන් ගැහැනියක්. ගැහැනුන්ට පාට් දමන කොට මා කට පියාගෙන ඉන්නේ නැහැ.

තනි ගැහැනියක් වටකරගෙන තමයි මේ අය ලොකුකම් පෙන්වන්නේ. පාට් දමන්නේ. බොරු ප්‍රචාර පතුරුවමින් පට්ටපල් බොරු කියමින් මට මඩ ගහනවා. ඔය බෙන්තර ප්‍රදේශයේ පුංචි පඟරනැට්ටෝ, ගොන් පඟර නැට්ටෝ කිහිප දෙනෙක් ගෙන යන බොරු ප්‍රචාරවලට මාව වට්ටන්න බැහැ.
මේ මිනිස්සු මේ වගේ දේවල් කරන්නේ පණ තියෙන ගැහැනුන්ට. කාන්තාවන් වෙනුවෙන් මම සටන් කරනවා. මට මගේ මහත්තයා සමඟ ස්විස්ටර්ලන්තයට ගොස් සැපවත් ජීවිතයක් ගත කරන්න තිබුණා. නමුත් මා දේශපාලනයට ආවේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි. ජනතාවට සේවය කිරීමටයි.
මම මගේ පෞද්ගලික මුදල් තමයි ජනතා සේවයට යොදවන්නේ. මම හත්වතාවක් හොඳම නිළිය වුණා.තුන් වතාවක් ජනප්‍රිය නිළිය වුණා. මට අමුතුවෙන් කීර්තිය, ජනප්‍රියත්වය, ධනය ලබාගන්න අවශ්‍ය නැහැ. ලංකාව දන්නවා මා ගැන. මට අවශ්‍ය ජනතාවට සේවය කිරීමයි. ජනතාව වෙනුවෙන් ජීවිතය දෙන්න වුණත් මා ලෑස්තියි. මගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරන්නේ ජනතාව වෙනුවෙන්.
මා අවංකයි, මගේ ළඟ හොරකම, දූෂණය, වංචාව නැහැ. ජනතාවගේ මුදල් හොරකම් කරලා නැහැ. ජනතාවගේ සල්ලිවලින් රට සවාරි ගිහින් නැහැ. පාතාලය සමඟ ගනුදෙනු නැහැ. මේ රටේ සියලු කාන්තාවන් වෙනුවෙන් තමයි මා හඬ නඟන්නේ. පාර්ලිමේන්තුවට ගොස් කාන්තාවන් වෙනුවෙන් සටන් කරනවා.

බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා නිදාගෙන හිටපු ශ්‍රී ල.නි. පක්‍ෂය නැඟිට්ටුවා පක්‍ෂය අවදි කළා. එතුමා අපේ පක්‍ෂයට ශක්තියක්. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මේ රට දකුණු ආසියාවේ ආශ්චර්ය කරා ගෙනයනවා. රට නඟන නිල් රැල්ල හරහා බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා පක්‍ෂය අවදි කළා.

මෙවර මැයි පෙළපාළියට විශාල පිරිසක් මා රැගෙන යනවා. මැයි දින පෙළපාළියේ මා ජනතාව සමඟ පාගමනින් යනවා. ඒ සදහා එක්වන ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු කාන්තා සංවිධානවලින් ඉල්ලා සිටිනවා. මට මෙතරම් මඩ ගහන්නේ මා වැඩකරන නිසා. මා ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ ශ්‍රී ල.නි. පක්‍ෂය නිසා. ශ්‍රී ල.නි. පක්‍ෂයට මගේ ලොකු ගෞරවයක් තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කය පුරාගොස් ශ්‍රී ල.නි. පක්‍ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා යැයිද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

ගාල්ල - ලලිත් රුහුණගේ සහ කේ.ඒ.එස්. කුමාර
 'මව්බිම' පුවත් ඇසුරිනි

-සබැදි පුවත්-
1. ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පැවැසීම කාන්තාවට අපහාසයක්
2.මම තනියම ජීවත් වෙන ගෑහැණියක්.
3.ගණිකා වෘත්තිය පමණක් නොව, මේ රටේ ගබ්සා කිරීම්ද නීතිගත කළ යුතුයි
4.මම හිතුවා ඔළුවට කෝපි ටිකක් වැටුණාම මොළේ පෑදෙයි කියලා
5.ගීතාගෙන් පහර කෑ මන්ත්‍රි කට අරියි
6.මල්ගස් වටේ දුවලා ජනප්‍රිය වුණාට ගීතාට දේශපාලනය බෑ 
7. බෙන්තර උප සභාපතිට ගීතා කුමාරසිංහගෙන් ප්‍රහාරයක් 

Gossip Lanka Hot News Previous News Archive