අද කෘෂිකර්මෙට මරු බඩුවක් ඉන්නේ, තට්ටෙ කස කසා මොට්ට කතාමයි කියන්නේ Hemakumara Nanayakkara

එක පවුලක නඩත්තුව වෙනුවෙන් රටේ ජනතාවගේ බෙල්ල මිරිකලා, ලේ උරා බොන තත්ත්වයට රජය පත් වී ඇතැයි 'මවුබිම ජනතා පක්ෂයේ' නායක හේමකුමාර නානායක්කාර මහතා කීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම සඳහා හාලිඇළ බෝගහමඩිත්ත - නින්කි හෝටලයේදී පැවැති සම්මන්ත්‍රණයකදීය.

මවුබිම ජනතා පක්ෂයේ සභාපති සමරවීර වීරවන්නි මහතාගේ මෙහෙය වීමෙන් පැවැති මේ සම්මන්ත්‍රණයේදී හේමකුමාර නානායක්කාර මහතා මෙසේද කීය.
අද මේ දුර්දාන්ත ජනතා විරෝධී රජය ජනතාවගේ බෙල්ල මිරිකන්න පටන්ගෙන. විපක්ෂය ශක්තිමත් වුණේ නැතිනම් රටත්, ජනතාවත් ඉවරයි. අද ජනතාවට සිද්ධවෙලා තියෙන්නේ උපන්නාට මේ ලොව වැනෙනවා විනා වාගේ ඉන්න. ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු කාලේ බඩු මිල අඩුයි. යුද්ධය ඉවරයි, බඩු මිල වැඩියි. යුද්ධෙ ඉවර වුණාට පස්සේ කවුරුත් හිතුවෙ බඩු මිල පහත වැටිලා සහන ලැබෙයි කියලා. ඒක හීනයක් විතරයි.

හම්බන්තොට වරායක් හැදුවා. නැව් එන්නේ නෑ. මත්තල ගුවන් තොටුපොළක් හැදුවා කුරුල්ලො හැප්පිලා වීදුරු බිඳෙන නිසා ගුවන් යානා එන්නේ නෑ. 

 මේවා තමන්ගේ පෞද්ගලික ධනයෙන් කරනවනම් අපිට කට පියාගෙන ඉන්න තිබුණා. මේ කාබාසිනියා කරන්නේ රටේ අහිංසක ජනතාවගේ මුදල්.

අද මරු බඩු ටිකක් ඇමැති මණ්ඩලෙත් ඉන්නේ. රටේ සිද්ධවෙන දේවල්වලට මේ අයට හිනා වෙන්න බෑ. ඒත් හිනාවෙවී ඉන්නවා. නැත්නම් දන්නවනේ සිද්ධවෙන දේ. අද කෘෂිකර්මෙට මරු බඩුවක් ඉන්නේ. තට්ටෙ කස කසා මොට්ට කතාමයි කියන්නේ. අල ගොවියො කිව්වොත් පිටරට අල නිසා තමන්ගෙ නිෂ්පාදන විකුණා ගන්න බෑ කියලා, මිනිහා අහනවා කවුද අල වවන්න කිව්වෙ කියලා. මේ වගේ අයගෙන් රටේ දියුණුවක් ඇතිවේවිද නෑ. ගොවියට සෙතක් වේවිද නෑ.

දැන් අපි ඉවසුවා හොඳටම ඇති. අපි පොදු ඒකාබද්ධ විපක්ෂයක් ලෙස එකට එකතු වුණේ ශක්තිමත්ව නැඟී සිටිමින් ජනතාවට නායකත්වය දෙන්න. වමට සිග්නල් දාලා දකුණට හරවන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාපකාරී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදීව පෙරළා දමා සියලු ජාතීන්ගේ අයිතීන් සුරකින ජනතාවාදී රජයක් බිහි කරන්න පක්ෂ, පාට, ජාති භේදයකින් තොරව පාරට බහින යුගය උදාවී ඇතැයිද කීය.

Gossip Lanka Hot News Previous News Archive