ජයන්ත ධර්මදාස ක්‍රිකට් මහගෙදර මුල්පුටුවට යළිත් - Jayantha new SLC President

වසර 8කට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ලෙස ජයන්ත ධර්මදාස මහතා ඊයේ නැවත වරක් පත්විය. 2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති ලෙස පත්වූ ඒ මහතා මෙවර පැවැති නිලවරණයේ දී සටනකින් තොරවම සභාපති තනතුරට පත්වීම විශේෂත්වයකි.හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා ද නැවත වරක් ලේකම් තනතුරට නිතරගයෙන් තේරී පත් වුවේය.

හිටපු උප සභාපති අසංග සෙනෙවිරත්න මහතා මෙවර පරාජයට පත්වූ අතර මෙවර නිලවරණ‍යේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලැබූ කේ.මතිවානන් මහතා මෙවර ද එම තනතුරට තේරී පත්වූ අතර මොහාන් ද සිල්වා මහතා දෙවැනි තැනට තේරී පත්විය. මතිවානන් මහතා ඡන්ද 113ක් ලැබූ අතර මොහාන් ද සිල්වා මහතා ඡන්ද 81ක් ලබා ගත්තේය.නිලවරණය මැතිවරණ දෙපාර්තුමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පැවැත්වීම විශේෂත්වයකි.නිලවරණය මෙහෙයවීමට හිටපු සභාපති උපාලි ධර්මදාස මහතා සූදානම් වූ අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා වි‍රෝධතාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ ඡන්ද හිමි අයකු ‍නොවන හෙයින් ඒ සඳහා නීතිමය අවසරයක් නොමැති බවයි.

අනතුරුව නිතරගයෙන් සභාපති තනතුරට තේරී පත්වීමට සුදුසුකම් ලබා සිටි ජයන්ත ධර්මදාස මහතා මුලසුනට පැමිණි අතර එහි දී නැවත එවැනිම විරෝධතාවක් ගොනුවිය. නිලවරණය නිත්‍යානුකූලව කරගෙන යෑම සඳහා හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාට බලයක් ඇති බවට සභාවෙන් මතුවූ යෝජනාව ඒකමතිකව සම්මතවී නිලවරණය ආරම්භ කෙරුණි.
ක්‍රිකට් නිලධාරීහූ නිලවරණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී. ඡායාරූපය – ප්‍රින්ස් ගුණසේකර
ඡන්දදායකයන් 147ක් තම මතය ප්‍රකාශ කළ අතර පැය 8ක කාලයක් ඒ සඳහා ගතවිය. ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමට ඉතිහාසයේ ගතකළ වැඩිම කාලය එය වීම ද විශේෂත්වයකි.

තනතුරු 25ක් සඳහා අපේක්ෂකයන් 38ක් තරග වැදුණු හෙයින් වෙන වෙනම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබූ අතර ප්‍රතිඵල වගුගතකොට ප්‍රකාශ කිරීමට දීර්ඝ කාලයක් ගතවිය.

එමෙන්ම පසුගිය කාලයේ විගණන වාර්තා පිළිබඳව හා මූල්‍ය පරිපාලන කටයුතු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වීම ද මේ නිලවරණය අතරතුරදී සිදුවිය. ‍මෙවර නිලවරණයේ දී හිටපු නියෝජ්‍ය ලේකම් හිරන්ත පෙරේරා, හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාරික අජිත පැස්කුවෙල් හා භාණ්ඩාගාරික නුස්කි මොහොමඩ් යන මහත්වරු තනතුරු එලෙසම ආරක්ෂා කර ගැනීමට සමත්වූහ.

නියෝජ්‍ය ලේකම් තනතුරට ඉදිරිපත්ව සිටි ප්‍රියන්ත සොයිසා මහතා තම නාමයෝජනාව ඉල්ලා අස්කර ගත්තේය.නියෝජ්‍ය ලේකම් තනතුරු තෝරා ගැනීමේ දි ඡන්ද 14ක් ප්‍රතික්ෂේප විය. ඇතැම් ඡන්ද පත්‍රිකාවල මතය ප්‍රකාශ කිරීමේ දී කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොලැබෙන සේ ප්‍රතික්ෂේප කිරීම් ද දක්නට ලැබුණි.

නිලවරණයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවැසුවේ ක්‍රිකට් විධායක සභාව මේ තනතුරට නම් කළ හෙයින් ක්‍රිකට්වලට සේවය කිරීම උදෙසා තමා පැමිණි බවයි.

'කලින් අවුරුදු තුනක් මා ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කළා. මේ තනතුර ‍මට අමුතු දෙයක් නොවෙයි. මගේ හා විධායක කමිටුවේ එකම බලාපොරොත්තුව ක්‍රිකට් ලෝකයේ පළමු තැනට ශ්‍රී ලංකාව ගෙන ඒමයි.' ධර්මදාස මහතා පැවසිය.

ඡන්දයට කළින් විරුද්ධවාදීන් සිටියාට ඡන්දයෙන් පසුව එවැනි පිරිසක් නොමැති බවට ධර්මදාස මහතා විශ්වාසය පළ කළේය.

තනතුරුවලට පත්වූයේ වැඩ කිරීමට හෙයින් විධායක කමිටුවේ සිටින්නේ කවුරුන්ද යන්න තමාට වැදගත් නොවන බව ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවැසීය.

එක් එක් පැතිවලට නොබෙදී ක්‍රිකට් ක්‍රීඩාව දියුණුකොට රටේ ගෞරවය වෙනුවෙන් කටයුතු කිරීමට සියලු පාර්ශ්වයන්ට රණතුංග මහතා ආරාධනා කළේය.

උප සභාපති මොහාන් ද සිල්වා මහතා මේ මාධ්‍ය හමුවේ දී පැවැසුවේ මෙතෙක් සටන් කළේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් බවය.

'අලුත් විධායක කමිටුව සමග එක්ව කටයුතු කරනවා. ඒකට මට බාධාවක් නෑ.' සිල්වා මහතා පවසද්දී මාධ්‍යවේදියකු පෙරලා ප්‍රශ්න කළේ ක්‍රිකට් ආයතනයට එරෙහිව ගත් අධිකරණ ක්‍රියා මාර්ග ඉල්ලා අස්කර ගැනීමට සූදානම් ද යන වගයි.

'දැන් නඩු කියලා තේරුමක් නෑ. නමුත් ඒ ගැන මා සමග සිටි කණ්ඩායමේ මතය විමසා ඉදිරියේ දී කියන්නම්.' මොහාන් ද සිල්වා මහතා පැවැසීය‍.

සභාපති - ජයන්ත ධර්මදාස (නිතරගයෙන්),
ලේකම් - නිශාන්ත රණතුංග (නිතරගයෙන්),
Dharmadasa appointed SLC President; Ranatunga appointed Secretary

උපසභාපතිවරු (2යි) - කේ.මතිවානන් (ඡන්ද 113), මොහාන් ද සිල්වා (ඡන්ද 81), අසංග සෙනෙවිරත්න (ඡන්ද 68),

නියෝජ්‍ය ලේකම් (1යි) - හිරන්ත පෙරේරා (ඡන්ද 74), බන්ධුල දිසානායක (ඡන්ද 51), ප්‍රියන්ත සොයිසා (ඉල්ලා අස්වුණා),

භාණ්ඩාගාරික (1යි), නුස්කි මොහොමඩ් (ඡන්ද 87), ඊස්මන් නාරාංගොඩ (ඡන්ද 55),

නියෝජ්‍ය භාණ්ඩාගාරික (1යි) - අජිත පැස්කුවෙල් (ඡන්ද 71), අර්වින් ජයවර්ධන (ඡන්ද 68), විනිසුරු කමිටුව – ඒ.ආර්. එම්.අරූස් (සභාපති), ගජබා පිටිගල, ජයන්ත පරණාතල, ලාල් රණසිංහ, හිරාන් ජයමාන්න,

තරගාවලි සංවිධායක කමිටුව – චන්ද්‍ර රුද්‍රිගෝ, අනිල් ද සිල්වා, දමින්ද කුරේ, රෝනල්ඩ් පෙරේරා, ජයන්ත ජයවීර,

තරගාවලි කමිටුව – රොෂාන් ඉද්දමල්ගොඩ (සභාපති), කවින්ද්‍ර ලියනගේ, මනූජ කාරියප්පෙරුම, සමන්ත ‍දොඩංවෙල, උපාලි සෙනෙවිරත්න,

අනුග්‍රාහක කමිටුව – සරත් අබේසුන්දර, මතීෂ ධර්මසිරි, එරංග අධිකාරී

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ හිටපු සභාපතිවරු

1948-50 ටී. සරවනමුත්තු

1950-52 ඡේ. ඒ. ඊ. ක්‍රිස්‌ටෝපර්

1953-55 ඡේ ආර්. ජයවර්ධන

1956-57 කර්නල්. එµa. සරවනමුත්තු

1957-76 රොබට්‌ සේනානායක

1976-78 බී. ආර්. හයින්

1978-80 එන්. එම්. පෙරේරා

1980-81 ටී. බී. වේරපිටිය

1981-89- ගාමිණී éසානායක

1989-90 ටී. පීරිස්‌

1990-91 ලක්‌ෂ්මන් ජයකොඩි

1991-94 ටිරෝන් ප්‍රනාන්දු

1994-95-ගාමිණී දිසානායක

1995-96 ආනා පුංචිහේවා

1996-97 උපාලි ධර්මදාස

1998-2004-තිලංග සුමතිපාල

2004-2005 මොහාන් ද සිල්වා

2011-උපාලි ධර්මදාස

අතුරු කමිටු ඔස්‌සේ පත්වූ සභාපතිවරුන් මෙසේය.

රියෙන්සි විඡේතිලක 1999-2000

විජය මලලසේකර 2001-02

හේමක අමරසූරිය 2002-03

ජයන්ත ධර්මදාස 2005-07

අර්ජුන රණතුංග 2008

ඩී. එස්‌. ද සිල්වා 2009-10

උපාලි ධර්මදාස 2011-2012

Gossip Lanka Hot News Previous News Archive