ආණ්ඩුව අවුරුද්දට වැඩ ඇල්ලුවේ ජනතාවට කරන්ට් වද්දලයි - JVP

නැකතට වැඩ අල්ලපු ආණ්ඩුව මුලින්ම කළේ විදුලි බිල වැඩිකර ජනතාවට කරන්ට් වැද්දීම බවත් ඒ නිසා ජනතාව ගැන නොසිතන මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා ජනතාව පාරට බැසිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ මේ විදුලිබිල වැඩිවීම ජනතාව භාරනොගත යුතු බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා...

පසුගිය මාසයක පමණ කාලයක් පුරා විදුලි බිල වැඩි කිරීම පිළිබඳව විවිධ කතා කියමින් හොරගල් අහුලමින් සිටි ආණ්ඩුව අන්තිමේදී විදුලි ගාස්තු වැඩි කලා. ආණ්ඩුව දිගටම කියන්න උත්සහ කළේ ජනතාවට බරක් නොවී සහනදායී ලෙස විදුලි ගාස්තු වැඩිකරනවා කියලයි. ජනාධිපතිවරයා අලූත් අවුරුද්දට ජනතාවට සුභපැතුවා. නැකතට හැම කටයුත්තක්ම සිදු කරලා අලූත් අවුරුදු නැකතටම ආණ්ඩුව වැඩ ඇල්ලූවා. ඒ, ජනතාවගේ විදුලි බිල වැඩි කරලා. ඒ නිසා මේ අවුරුද්ද ජනතාවට නරකක් මිස හොඳ අවුරුද්දක් වෙන්නේ නැහැ. මොකද ආණ්ඩුව වැඩ ඇල්ලූවෙම විදුලි බිල වැඩි කරලා.


විදුලි බිල වැඩි වීම සරල කාරණයක් හැටියට සලකන්න බැහැ. ආණ්ඩුව පසුගිය කාලයේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල වැඩි කළා. පසුව විදුලි බිලත් වැඩි කළා. එ විතරක් නොවෙයි ආණ්ඩුව ජනතාව නොමග යැව්වා. වත්මන් විදුලි ඇමති පවිත‍්‍රා වන්නිආරච්චි තනතුර භාරගත්ත වෙලාවේ කිව්වේ නොරොච්චෝලෙ චීනෙට දෙන්නෙත් නැ විදුලි බිල වැඩි කරන්නෙත් නැහැ කියලයි. එහෙම කිව්වට විදුලි බිල වැඩි කරන ක‍්‍රියාවලිය ආණ්ඩුව දිගටම ගෙන ගියා. මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලි බිල වැඩි කිරීම පිළිබඳ මහජන පැමිණිලි බාරගන්න දිනයක් වෙන් කළා. ජනතාවගේ අදහස්වලට පිටින් ගිහිල්ලා විදුලි බිල වැඩි කළා. මහජන අදහස්වලට අනුව නම් මහජන උපයෝගීතා කොමිසම කළ යුතුව තිබුණේ විදුලි බිල වැඩි නොකරන එකයි. මොකද මහජන අදහස්වලින් 95% කිව්වේ විදුලි බිල වැඩි කරන්න එපා කියලා. නමුත් විදුලි බල මණ්ඩලයේ ඉල්ලපු විදිහටම ගාස්තු වැඩි කළා. ජනතාව නොමග යැව්වා. එයින් පේනවා මහජන උපයෝගීතා කොමිසම වැඩකට නැති ආයතනයක් බව.

මෙම විදුලි බිල වැඩි කිරීම ඇතුලේ බරපතළ ප‍්‍රශ්නයක් තිබෙනවා. විදුලි බිල වැඩිවීම වැඩිපුරම දැනෙන්නේ දිළිඳු ජනතාවටයි. වැඩි බරක් තියෙන්නේ ඔවුන්ටයි. ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වෙලා තිබුණේ විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමයි. ඊට අනුව විදුලි ඒකක 1-30 ත් අතර පාවිච්චි කරන ගමේ දිළිඳු ජනතාව තමයි විදුලිය අරපිරිමැස්මෙන්ම පාවිච්චි කරන්නේ. නමුත් ආණ්ඩුව වැඩිපුරම බර පටවලා තියෙන්නෙත් එම ජනතාව මතයි. ඒ්කක 1-30 දක්වා මිල රුපියල් 3 සිට 5 දක්වා වැඩි කොට තිබෙනවා. එයට මාසික ගාස්තුවත්, 25%ක ඉන්ධන ගැලපුම් ගාස්තුවත් අය කරනවා. විදුලි බල්බ තුන හතරක් පාවිච්චි කරන දිළිඳු ජනතාවගේ ඉන්ධන ගැලපුම් ගාස්තුවක් අය කිරීමත් ඉතා අසාධාරණ කටයුත්තක්.

ආණ්ඩුව මේ සැරේ විදුලි බිල වැඩි කළේ අලූත් ක‍්‍රමයකටයි. එකේ සිට 30 දක්වා රුපියල් 5 ක්ද 31 සිට 60 දක්වා රුපියල් 6 ක්ද 61 සිට 90 දක්වා 8.50 ක්ද ආදී වශයෙන් වැඩි කළා. ඉන් පසුව 1 සිට 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට ඒකකයක මිල රුපියල් 5 ක් වුවද ඒකක ප‍්‍රමාණය 31 ක්ක වූ විට 1 සිට 31 දක්වා ඒකක ප‍්‍රමාණයට රුපියල් 6 බැගින් ගෙවිය යුතු වෙනවා. මීට පෙර පැවතියේ. 1-30 දක්වා රුපියල් 3 ක්ද 30 න් පසු වැඩිවන ඒකකයක් සඳහා රුපියල් 4.70 ක් වශයෙනුයි. ඒ නිසා මෙවර වැඩි කිරීම ඉතා අසාධාරණ, දරාගැනීමට නොහැකි වැඩිවීමක්. ලංකාවේ විදුලි පාරිභොගිකයින් සැලකුවහම 1-30 දක්වා ලක්‍ෂ 8 ක්ද 31-60 දක්වා ලක්‍ෂ 13 ක්ද 61-90 දක්වා ලක්ෂ 12 ක්ද වශයෙන් පරිභෝජනය කරනවා. ඒ අනුව ඒකක 90 ක් දක්වා විදුලිය පරිභෝජනය කරන වැඩිම පිරිස එම ලක්‍ෂ 33 යි.

"මෙවර විදුලි ගාස්තු වැඩිකිරීමේ සූත‍්‍රයට අනුව ඒකක 90 ක් පරිභෝජනය කරන පාරිභෝගිකයෙකු ගෙවිය යුතු විදුලි බිල 1197 ක් වන අතර විදුලි ඒකක 91 ක් පරිභෝජනය කරන්නෙකු ගෙවිය යුතු විදුලි බිල 2352 ක් වේ. එවිට එක් ඒකකයක් වැඩි වූ පමණින් රුපියල් 1155 ක ගාස්තු වැඩිවීමක් සිදු වෙයි."


මෙවර වැඩිවීම කොපමණ අසාධාරණ දැයි පෙන්වීමට උදාහරණයක් ගත්තොත් ඒකක 90 ක් පරිභෝජනය කරන පාරිභෝගිකයෙකු ගෙවිය යුතු විදුලි බිල රු.1197ක් (90 X රු.8.50 + ස්ථාවර ගාස්තු රු. 90 + ඉන්ධන ගැලපුම් ගාස්තු 40%) විදුලි ඒකක 91 ක් පරිභෝජනය කරන්නෙකු ගෙවිය යුතු විදුලි බිල 2352 ක් (91 X රු.15 + ස්ථාවර ගාස්තු රු. 315 + ඉන්ධන ගැලපුම් ගාස්තු 40%) එවිට එක් ඒකකයක් වැඩි වූ පමණින් රුපියල් 1155 ක වැඩිවීමක් සිදු වෙනවා. මේ ආකාරයට ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මිරිකලා සල්ලි හොයන ක‍්‍රමයක් අනුගමනය කරනවා. ජනතාව ගැන හිතලා හදපු ක‍්‍රමයක් නෙමෙයි කියලා මෙයින් ඔප්පු වෙනවා. අඩු ඒකක ප‍්‍රමාණයක් පාරිභෝජනය කරන අයට වැඩි බිලක් සහ වැඩි ප‍්‍රමාණයක් පරිභෝජනය කරන අයට සහනයක්ද ආණ්ඩුව ලබා දී තිබෙනවා. මැද පන්තියට බර පටවමින් සුපිරි පන්තියට සහන දෙන හිතුවක්කාරී මිල වැඩිකිරීමක්.

මේ ආකාරයෙන් ආණ්ඩුවට විදුලි බිල වැඩි කරන්න වුණේ ඇයි. ආණ්ඩුවම කියනවා විදුලි බල මණ්ඩලය විශාල පාඩුවක් දරනවා කියලා. නමුත් ආණ්ඩුව පහුගිය කාලයේ ණය ගන්න විට ෂඵත්‍, ලෝක බැංකු කොන්දේසි අනුව වැඩ කරන්න පොරොන්දු වුණා. පහුගිය අයවැය ලේඛනය ඉදිරිපත් කළේ ඊට අනුවයි. රජයේ සේවා සඳහා පිරිවැය පදනම් කරගත් මිල සූත‍්‍රයක් හදන්න ආණ්ඩුව පොරොන්දු වුණා. චම්පික විදුලිබල ඇමතිව සිටියදී ජනවාරි 21 කිව්වා විදුලියටත් තෙල් වලටත් මිල සූත‍්‍රයක් ඕනෑ කියලා. මින් ඉතාම පැහැදිලියි රාජ්‍ය සේවාවලට මිල සූත‍්‍රයක් යෝජනා කරලා තිබෙන බව. එනිසා තමයි විදුලි බිල වැඩිවීම මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන්නේ. එම කොමිසම මගින් තමයි වියදම ගැන හිතලා මිල සූත‍්‍රයක් සකස් කරන්නේ. නමුත් මේ අවස්ථාවේ දී මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලේ යෝජනාව පිළිගත්තා.

දෙවනි කාරණය තමයි මණ්ඩලේ තිබෙන අති විශාල දූෂණය සහ නාස්තිය. මණ්ඩලේ පාඩු සඳහා වගකිව යුත්තේ මහජනතාව නෙමෙයි. මහින්ද රාජපක්‍ෂ පාලනය හා විදුලි බල ඇමති ඊට වගකිව යුතුයි. නමුත් බර පැටවෙන්නේ වගකිව යුතු නැති ජනතාව මතයි. මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබුණා වියදම් රුපියල් බිලියන 40 කින් කපන්න කියලා. එයින්ම පේනවා විදුලිබල මණ්ඩලයේ අනවශ්‍ය වියදම් කොපමණද කියලා. ඒ වගේම විදුලිය මිලදී ගන්න එපා කිවූ පෞද්ගලික ආයතන 04 කින් විදුලි බල මණ්ඩලය විදුලිය මිලදී ගත්තා. ඒ සඳහා රුපියල් කෝටි 1300 ක් වැය කළා. නමුත් ඊට වඩා අඩුවට කැළණිතිස්ස බලාගාරයෙන් විදුලිය ලබා ගන්න පුළුවන්. නමුත් කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් විදුලිය ලබා ගන්නවා. ඒ වගේම මේ පාඩුවට ආණ්ඩුවේ වැරදි ප‍්‍රතිපත්ති බලපානවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ගැන ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තැබුවා. නමුත් එය 13 වෙනි - 14 වෙනි වතාවටත් නතර වී තිබෙනවා. චීනෙන් විශාල ණයක් අරගෙන හදපු බලාගාරය කෝටි ගාණක පාඩුවක් සිදු වුණා. දැන් විදුලිය නිපදවන්නේ නැති බලාගාරයකට ගත් ණය වෙනුවෙන් පොලී සහ වාරික ගෙවනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ වාහන පාවිච්චිය ගැනත් බරපතළ ගැටලූ තිබෙනවා. එක් නිලධාරියෙකුට වාහන 3-4 පාවිච්චි කරනවා. ඔවුන්ගේ නිවෙස්වලත් පාවිච්චි කරන්නේ මණ්ඩලේ වාහනයි.

ඒ අතර ආණ්ඩුව ලක්‍ෂ ගාණක් වියදම් කරලා දැන්වීම් දැම්මා, එක් විදුලි බුබුලක් නිවා විදුලිය ඉතිරිකරන්න කියලා. නමුත් ජනාධිපති මන්දිරයේ මැති ඇමතිවරුන්ගේ නිවෙස්වල අති විශාල ලෙස විදුලිය නාස්ති කරනවා. මොකද ඔවුන් බිල් ගෙවන්නේ නැති නිසා. ඒ වගේම ආණ්ඩුව සන්දර්ශනවලට විශාල ලෙස විදුලිය නාස්ති කරනවා. දැයට කිරුළ වැනි අසාර්ථක සන්දර්ශනවලට විදුලිය නාස්ති කරනවා. මෙතරම් එළිය තියෙන රටේ ලයිට් දාගෙන ?ට ක‍්‍රිකට් ගහනවා. ආණ්ඩුව කළ යුත්තේ මහා පරිමාණ ලෙස සිදුවන විදුලි නාස්තිය වැළැක්වීමයි. ආණ්ඩුව නාස්තිය වළක්වන්න කටයුතු කරන්නේ නැති අතරම නාස්ති කරන අයගේ විදුලි බිල වැඩි කරන්නෙත් නැහැ.

මේක ජනතාව ගැන හිතන්නේ නැති හිතුවක්කාර ආණ්ඩුවක්. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ආර්ථික සංවර්ධන වේගය ගැන කතා කරනවා. නමුත් බඩු මිල වේගයෙන් ඉහළ යනවා. සංවර්ධනය වෙනවා යැයි කියන රටේ ජනතාවගේ ආදායම් වැටුප් වැඩිවෙන්නේ නැහැ. මේක ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ ආණ්ඩුවක්. ලෝකෙට සංදර්ශන පෙන්වන ආණ්ඩුව රටට බරක් වෙලා.

2012 දෙසැම්බර් 15 පෙට‍්‍රල් ලීටරය රුපියල් 15 කින් වැඩි කළා. 2013 ජනවාරි 5 ගෑස් සිලින්ඩරයක් 150 කින් වැඩි කළා. පෙබරවාරියේදී නැවත වරක් ඞීසල් පෙට‍්‍රල් මිල වැඩි කළා. එතනින් නොනැවතුන ආණ්ඩුව විදුලි බිලත් වැඩි කරලා. මේ ආකාරයෙන් බලශක්ති වල මිල වැඩි කිරීම රටේ ජනතාවට විශාල ලෙස බලපානවා. ඒ වගේම දැන් ලබන ජූලිවල සිට බස් ගාස්තු 15% කින් වැඩි වීමක් ගැන කතා කරනවා. අවුරුද්දට ණය වෙලා බඩු උකස් කරලා දවස් දෙක තුන ගෙවාගත්ත ජනතාවට ණය ගෙවාගන්න බැරි වෙලා තියෙද්දී විදුලි බිලත් වැඩි කරනවා.

මෙම තත්ත්වය පරද්දන්න ජනතාව යම් දෙයක් නොකළොත් ආණ්ඩුව මේ දේ දිගටම සිදු කරගෙන යනවා. මේ ආණ්ඩුව ජනතාවට බය නැහැ. ජනතාවට වග කියන්නේ නැහැ. පාර්ලිමේන්තුවත් අධිකරණයත් ආණ්ඩුවේ අතේ. බලය තියෙන නිසා ආණ්ඩුව හිතනවා මොන දේ කළත් ජනතාව ඡුන්දෙ දෙනවා කියලා. ඒ නිසා ජනතාවට වගකීමක් තිබෙනවා ලක්‍ෂ 44 ක් පමණ වූ විදුලි පාරිභෝගිකයින් ලෙස මෙම මිල වැඩි කිරීමට එරෙහිව නැගී සිටිය යුතුයි. අනුකම්පා විරහිතව සිදු කරන වැඩිවීම වහා අඩු කරන්න කියලා පාරට බැසිය යුතුයි. ආණ්ඩුවට එරෙහි ජනතා ක‍්‍රියාමාර්ගවලින් පමණයි මෙය වෙනස් කළ හැක්කේ. ඒ නිසා ජනතාවට කියනවා මෙම වැඩිවීම පිළිගන්න එපා කියලා. මෙම මිල වැඩි කිරීමට එරෙහිව පාරට බහින්න සූදානම් වෙන්න කියලා අපි ජනතාවට කියනවා.

මේ ආණ්ඩුව ජනතාවට ගැලපෙන ආණ්ඩුවක් නෙමෙයි. එනිසා මෙම ආණ්ඩුව පරාජය කළ යුතුයි. විදුලි බිල අඩු කරන්න කියලා වගේම ජනතාව ගැන නොහිතන ආණ්ඩුව පරාජය කරන්න උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලට සහය දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදී නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

මහජන උපයෝගීතා කොමිසම වැඩකට ඇති ආයතනයක් නොවෙයි. එය ජනතා අදහස් පිළිගන්නේ නැහැ. යාළුවන්ට රස්සාවල් දෙන්න හදාගත්තු ආයතනයක් පමණයි. මහින්ද රාජපක්‍ෂගේ යාළුවන්ට රස්සාවල් දෙන්න හදාගත්ත මේ ආයතන ජනතා අදහස්වලට අනුව වැඩ කරන්නේ නැහැ.

ආණ්ඩුව විදුලි පනත සංශෝධනය කරන්නයි යන්නේ. එම සංශෝධනයේදී විදුලි උත්පදනය සහ සම්පේ‍්‍රශණය ස්වෛරී රාජ්‍යවලට ලබා දීමට හැකිවන පරිදි නීති හදන්න සූදානම්. එනිසා ආණ්ඩුව ලෑස්ති වෙන්නේ නොරොච්චෝලේ, සාම්පූර් වැනි බලාගාර චීනයට ඉන්දියාවට භාර දීමට හෝ විකුණා දැමීමටයි.

මාතලේ සමූහ මිනීවල ආශි‍්‍රතව පසුගියදා සිදු වුන සිද්ධිය පොලිස්පතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කළා. නමුත් එවැනි සිද්ධියක් සිදු වූ බවට පැහැදිලි තොරතුරු තිබෙනවා. ආණ්ඩුව හදන්නේ මාතලේ ප‍්‍රදේශයේ ජනතාව බිය වැද්දීමටයි. අපි ආණ්ඩුවට කිව්වේ කොමිසම්වලින් වැඩක් නැහැ, අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්න කියලයි. නමුත් ජනාධිපතිවරයා යෝජනා කළ කමිටුවට සාමාජිකයොත් නැහැ. අධිකරණ ක‍්‍රියාමාර්ගත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා, මේ සිදුවීමට එරෙහිව අපි අධිකරණයට යනවා.

මෙම මාධ්‍ය හමුවට ජවිපෙ මධ්‍යමකාරක සභික ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාද සහභාගිවිය.

Gossip Lanka Hot News Previous News Archive