Pages

මාලවී යෝගය - Malavi Yoga

මාලවී යෝගය හඳහනක පිහිටා ඇත්දැයි දැන ගැනීම සඳහා එක් එක් කේන්ද්‍රයට අනුව පරීක්‍ෂා කර බැලිය යුතුය. මෙම ග්‍රහ යෝගය උදාවීම සඳහා සිකුරු ග්‍රහයා ස්වක්‍ෂේත්‍ර හෝ උච්ච තත්ත්වයෙන් කේන්ද්‍රයක 1, 4, 7, 10 යන ස්ථානවලින් එකක පිහිටා තිබිය යුතුය. ඔබට පහසුවෙන් මෙම යෝගය තම ජන්ම පත්‍රය තුළ තිබේදැයි දැන ගැනීමට අවශ්‍ය ආකාරය මුලින් පැහැදිලි කිරීමට අදහස් කළෙමි.

ලග්න අනුව ගත්විට මේෂ ලග්න හිමියන්ට 7 වැනි කොටුවේ සිකුරු පිහිටා ඇති විට මාලවී යෝගය උදාවේ. වෘෂභ ලග්න හිමියන්ට සිකුරු එකේ සිටීමද මිථුන ලග්න හිමියන්ට සිකුරු 10යේ සිටීමෙන්ද කටක ලග්න හිමියන්ට සිකුරු හතරේ සිටීමෙන්ද, සිංහ ලග්න හිමියන්ට සිකුරු 10යේ සිටීමෙන්ද කන්‍යා ලග්න හිමියන්ට සිකුරු 7 සිටීමෙන්ද, තුලා ලග්න හිමියන්ට සිකුරු එකේ සිටීමෙන්ද, වෘශ්චික ලග්න හිමියන්ට සිකුරු 7 සිටීමෙන්ද, ධනු ලග්න හිමියන්ට සිකුරු හතරේ සිටීමෙන්ද, මකර ලග්න හිමියන්ට සිකුරු 10යේ සිටීමෙන්ද, කුම්භ ලග්න හිමියන්ට සිකුරු හතරේ සිටීමෙන්ද, මීන ලග්න හිමියන්ට සිකුරු එකේ සිටීමෙන්ද මෙම මාලවී යෝගය උදාවේ.

සිකුරු ග්‍රහයා යනු කෙනකුට සැප සම්පත් ලබාදීමේදී ප්‍රබල ලෙස බලපාන ග්‍රහයාය. සිකුරු බලවත්ව පිහිටා ඇති විට නිරන්තර සැප ලබන බවක් පෙන්වයි. එම ග්‍රහයා සිටින ආකාරය අනුව සැප සම්පත් ලබාදේ. සිකුරු ලග්නයේ නැතහොත් පළමුවැනි කොටුව තුළ සිටී නම් සියලු දෙනාගේ අවධානය යොමුවන සැප සම්පත් සහිත කෙනෙක් වේ. සිකුරු 4 වැන්නේ පිහිටා ඇති විට යානවාහන, ගෙවල් ‍ෙදාරවල් ආදිය සුවපහසු ලෙස ලබන අතර හදවතද කරුණාවන්ත වේ.

මවු සමඟ බැඳීම් ඇතිවීමද මේ නිසා හොඳින් සිදු වේ. සිකුරු 7 වැන්නේ ඇති විට නියම කාලයේදී යහපත් විවාහයක් ලැබීමට භාග්‍ය ලබන අතර එය වාසනාවන්ත එකක් වේ. හවුල් ව්‍යාපාර ආදියටද මෙම පිහිටීම යෝග්‍යයි. සිකුරු 10 වැන්නේ ඇති විට ඇති වන මාලවී යෝගය සුවපහසු රැකියා ලබාදෙන පිහිටීමක් වේ. මෙවැන්නන් වැඩිදෙනෙක් නියම කාලයේදී නියම වයසේදී රැකියා ලබන අතර ඔවුන්ගේ රැකියාද රාජ්‍ය අංශයට වැඩි නැඹුරුවක් ඇත. පෞද්ගලික අංශයේ වුවත් සමහර දෙනකු රැකියා ලබන නමුත් එම රැකියා සුවපහසු ලෙස කරගෙන යෑමට තරම් වාසනාව මෙම මාලවී යෝග හිමියන්ට උදාවේ. මේ අනුව බලන විට කේන්ද්‍රස්ථාන තුළ උදාවන මෙම මාලවී යෝගය එම ස්ථානයට අනුව වාසනාව උදා කරන්නකි.

සිකුරු යනු ඕනෑම විටක සුබපල උදාකරන ග්‍රහයා ලෙසත්, එම ග්‍රහයා තුළ ඇති හොඳ නරක දෙකම හඳුනාගෙන සිටීම ඔබට වැදගත් වනු ඇත. මා මුලින්ම සඳහන් කළ සියලු පිහිටීම් සැප සම්පත් ළඟා කරදෙන පිහිටීම් ලෙස හැඳින්විය හැකිය. නමුත් මේ සැප ලබා දෙන්නේ අප බොහෝදෙනා බලාපොරොත්තු වන ලෞකික ආශාවන් මුල්කරගෙනය. සිකුරු ග්‍රහයා විශේෂයෙන්ම මූලික වන්නේ ලෞකික සැපටය. අප ජීවත් වන කාලය තුළ ලබන සැප සම්පත් නිසාම අප තුළින් සමහර අවස්ථාවලදී සිත දියුණු කිරීමට ඇති මාර්ග දුරස් වේ. සුළු උදාහරණ කිහිපයක් ගතහොත් සිකුරු උච්ච තත්ත්වයට පත්වන්නේ මීන රාශිය තුළය. සියලු දෙනාටම සිකුරු උච්ච වීම මාලවී යෝගය නොවෙතත් මිථුන, කන්‍යා ධනු, මීන ලග්න 4ට සිකුරු උච්ච වීම මාලවී යෝගයයි. එමෙන්ම මෙම මාලවී යෝගය නැතහොත් මෙම ලග්න හතරට උදාවී ඇති මාලවී යෝගය විවාහ සඳහා නම් එතරම් යෝග්‍ය නැත. කුමන කරුණක් නිසා හෝ පළමු විවාහය බිඳ වැටීමේ අවදානම වැඩිපුර දක්නට ඇත.

සමහර කරුණු අප වරදවා වටහා නොගත යුතුය. මෙම විවාහ බිඳ වැටීම සඳහා එකම කාරණයක් මුල් වී නැතත් එවැනි බොහෝ විවාහ දෙදරා ඇති අය දෙවැනි විවාහය සිදුකර ගන්නා බව පෙනේ. සමහර අයට විශේෂයෙන් කාන්තාවන්ට එක විවාහයක් කර ගැනීමටත් ඉතා අපහසුවන කාලයක දෙවරක්ම පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගන්නේ මෙම ග්‍රහයෝගයේ ඇති බලවත්කම හේතුවෙන් යැයි මාගේ අදහසයි. සමාජය තුළ කැපී පෙනීම සියලුදෙනාගේම ආශාව බව අපට පිළිගැනීමට සිදුවේ. මෙම ගමන යෑම සඳහා අප කතා කරන මාලවී යෝගය ඉතා ඉහළින් උදවු වේ. මෙම ග්‍රහයෝගයත් සමඟම උදාවන බලය නිසා අන් අයට වඩා පහසුවෙන් තම කාර්යයන් ඉටුකර ගැනීමට මොවුන් සමත්කම් දක්වයි. ඒ නිසාම ගෙදර‍ෙදාර තත්ත්වය, සමාජ තත්ත්වය මෙන්ම රැකියාවද උසස් තත්ත්වයකට පත්වේ. එපමණක් නොව මෙවැන්නන් උපදින්නේද තමාට යම් යම් සැප සම්පතක් ලැබීමට තරම් ශක්තිමත් පරපුරකින් බවද නිතරම අපට පෙනී යයි.

මෙම මාලවී යෝගය සියලු දෙනාටම බලවත් වෙතත් මිථුන ලග්න හිමියන්ට 10 වැන්නේ සිකුරු තැන්පත් වීම ප්‍රබලම මාලවී යෝගය ලෙස හැඳින්විය හැකිය. 10 වැන්න වන රැකියා ස්ථානයේදී සිකුරු ඉතා හොඳ රැකියාවකට මඟපාදයි. ධනයට සහ බලයට ඉහළ තැනක් හිමිවීම වත්මන් සමාජය තුළ ඉහළ අගයක් ගෙන ඇත. සෞඛ්‍ය පිළිබඳවද මෙම යෝගයත් සමඟ ගැළපීමේදී තරමක දුර්වලතාවක්ද දකින්නට පුළුවන. මේ සඳහා හේතුවන කාරණා කිහිපයක් මෙම මාලවී යෝගය තුළම ඇත.

සැප සම්පත් ලබන ග්‍රහයෝගයක් හෙයින් සිරුර වෙහෙසීමට ඉඩ ප්‍රස්තාව අඩුය. එවිට ස්ථුල තත්ත්වයට පත්වීමත් ඒ නිසාම මැදි වයසේදී සෞඛ්‍ය පිළිබඳ ගැටලු මතුවන බවත් පෙන්වයි.

මාලවී යෝග හිමියන්ගේ අධ්‍යාපනය ගැන සැලැකීමේදී මධ්‍යස්ථ බවක් පෙන්වයි. බොහෝ දෙනකු හොඳින් අධ්‍යාපනය කරන නමුත් ටික දෙනකුට පවුලේ ඇති උරුම දේ විදේශ ගමන් බිමන් සහ පිට පළාත්වල පදිංචි වීම්ද පෙන්වයි. කෙසේ වෙතත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට අධ්‍යාපනය අවශ්‍ය වන හෙයින් ඒ සඳහා ලැබිය යුතු අනුග්‍රහය මෙම මාලවී යෝගය තුළ හොඳින් පිහිටා ඇත. එසේ නමුත් අධ්‍යාපනය ලබන කාලය තුළ ආදරය වැනි අංශ කෙරෙහිද ක්‍රීඩා කටයුතු මෙන්ම බාහිර කලා කටයුතු ආදිය සඳහාද මෙවැන්නන් පෙලඹෙන බවට අත්දැකීම් ඇත.

අද සමාජය තුළ තියුණු වූ පුද්ගලයන් අතරින් බොහෝදෙනකුට මෙම යෝගය පිහිටා ඇති නිසා අපට සාක්‍ෂි සහිතවම මෙය සුබ ග්‍රහ යෝගයක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම පංච මහා පුරුෂ යෝග අතරින් සියලු ලග්න සඳහා උදාවන ග්‍රහයෝගයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය. එසේ නමුත් සියලු දෙනාටම මෙය යෙදෙන යෝගයක් ලෙස වරදවා වටහාගත යුතු නැත.

මේ සියලු කරුණු සලකා බැලීමේදී මා හට වැටහී ඇත්තේ කිසිම පුද්ගලයකුට එක එල්ලේ සුබ හෝ අසුබ යැයි පැවැසිය හැකි කිසිම ග්‍රහයෝගයක් නොමැති බවයි. සමහර යෝග කෙනකුට ලෞකික සැපසම්පත් ලබාදී එහි දුර යෑමට සලස්වා ඒ නිසාම දුක මතු කරයි. මා පෞද්ගලිකව පරීක්‍ෂා කර බැලූ හඳහන් අතරින් මෙම යෝගය තිබූ එක් කාන්තාවකට ඉතා ප්‍රියමනාප රූපයක්, අධ්‍යාපනයක්, දෛවයෙන් ලබාදී තිබුණි. එනමුත් විවාහ ජීවිතය සම්බන්ධයෙන් බැලූ විට දැනට තෙවරක් පමණ අසාර්ථක වී ඇත. නමුදු අද ද විවාහ යෝජනා ගලා එන්නේ නිතැතිනි. මා දන්නා තරමින් මේ සියල්ල සිදුවන්නේ එම කාන්තාව සතු වැරැදි නිසාම නොවේ. දෛවයේ ඇති පුදුමාකාර පෙරැළියක් නිසාය. මාලවී යෝගය ඇති මා දන්නා තවත් කෙනකු විවාහය අසාර්ථක වී ඇත්තේ දැඩි කැපවීම් කළත් විවාහය රැක ගැනීමට නොහැකි වූ නිසාය. මෙහිදී මා දුටු දෙය නම් කොපමණ උත්සාහ කළත් සමහර දෙනකු වෙනස් කිරීමට නොහැකි තරම් පෙර ආත්මවල වැරැදි සිදුවී ඇති බවයි.

මාගේ උත්සාහය මෙම යෝග තුළ ඇති හොඳ නරක පෙන්වා තමන් වෙනුවෙන් තමන්ට යමක් කළ නොහැකි බව පෙන්වා දී සියල්ලම දෛවයට බාර දීමට නොවේ. සමහර අවස්ථාවලදී කොතෙක් දෝෂ ඇතත් උත්සාහය තුළින් දෛවය පැරැද්දූ අයද සිටින බව මම දනිමි. එසේ හෙයින් බාහිරව කතා කරන දෙයට වඩා අභ්‍යන්තර අර්ථය කෙරෙහි ඔබට ජේ‍යාතිෂය ගැන ඇති බොහෝ දුර්මත වටහා ගත හැකිය. මෙහි ඇති යථාර්ථය නම් උපතින් ඔබ ගෙන ආ යම්කිසි අනාගතයක් ඔබ හඳහනෙහි ලියැවී ඇති බවයි. නමුත් මේ ආත්මය තුළ කරන පින් පව් දෙක සහ එයින් ලැබෙන ප්‍රතිවිපාක ගණනය කිරීමට අපහසුය.

ප්‍රවීණ ජේ‍යාතිර්වේදී
රෝහිත අතුරලිය 0773498922
මව්බිම පුවත්පත ඇසුරිනි