“අනිත්‍යා” මැද මාවතක ගමන් කරන චිත්‍රපටියක් - Manik Wijewardana


රංගන ශිල්පිණි මැණික් විජේවර්ධන
ඔබේ පළමු සිනමා සම්ප්‍රාප්තිය අනිත්‍යා ඔබ දකින්නේ කොහොමද?

මරණය කියන දේ අපි හැමෝටම පොදුයි. අනිත්‍යා තුළින් කතා කරන්නේ මේ පොදු ධර්මතාවය පිළිබඳව. මුලින් මේ චිත්‍රපටිය නම් කර තිබුණේ ලයිෆ් කියලා. නමුත් අධ්‍යක්‍ෂ නාලක විතානගේ ඇතුළු කණ්ඩායම මේ චිත්‍රපටියට සිංහල නමක් යොදන්න හිතුවා. ඒ අනුව අනිත්‍යා කියන නම යෝජනා කළේ විශ්ව බාලසූරිය. ඔහුට ස්තූති කරන්න ඕනා. මම හිතන්නේ අනිත්‍යා කියන නම මේ චිත්‍රපටියට හොඳින්ම ගැළපෙනවා.

අනිත්‍යා චිත්‍රපටියේ කෞෂි මොන වගේ චරිතයක් ද?
කෞෂි කියන්නේ සමාජයට ලොකු පණිවිඩයක් දෙන චරිතයක්. ඇය හිතේ දුක හිරකරගෙන ලෝකයට පෙනෙන්න හිනාවෙලා ඉන්නවා. මොන දේ හංඟගෙන ජීවත් වුණත් අපි හැමෝම මැරෙනවා. මේ චරිතය තුළින් කියන්න උත්සාහ කරන්නේත් ඒ දේමයි.
ඒ වගේම මගේ චරිතය වගේම මේ චිත්‍රපටියේ හැම චරිතයක්ම අපේ සමාජයේ නිතර මුණගැසෙන චරිත. ඒ නිසා මේ චිත්‍රපටිය තාත්විකයි. මන: කල්පිත චරිත මෙහි නැහැ. ඒ වගේම සමස්ත චිත්‍රපටියම ගතහොත් එය පවතින සමාජයත් සමඟ බද්ධ වූවක්. ලොකු පොඩි භේදයකින් තොරව සියලු දෙනාටම මෙය නරඹා රසවිඳින්න පුළුවන්.

ප්‍රථම වරට ඔබ මෙවැනි චරිතයක් තෝරාගත්තේ ඇයි?

මම පාසල් යන කාලේ පාසල් වේදිකා නාට්‍යවල රඟපෑවත් මීට පෙර සිනමා නිර්මාණයකට හෝ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. නාලක විතානගේ මට කතා කරලා මෙහි තිර පිටපත මට බලන්න දුන්නා. ඒක කියවාගෙන යද්දී මට තේරුණා මෙය මට ගැළපෙන, මට කරන්න පුළුවන් චරිතයක් බව. ඒ නිසා මම නිර්මාණයට සම්බන්ධ වෙන්න හිතුවා. නාලකත් තරුණ නවක සිනමා අධ්‍යක්‍ෂවරයෙක්. ඔහුත් සමඟ කටයුතු කරන්න හරිම පහසු වුණා.

ඔහු සැම විටම අපිට උපදෙස් දෙමින් ඔහුට අවශ්‍ය ආකාරයට අපේ චරිත ගොඩනැඟුවා. ඇත්තටම අපි නාලකත් එක්ක කටයුතු කළේ හරිම සැහැල්ලුවෙන්. මෙහි නළු නිළියන් අතර ප්‍රවීණයන් වගේම නවකයනුත් බොහොමයක් හිටියා. ඒ සියලු දෙනාගෙන්ම මට මගේ චරිතය සාර්ථකව ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනියන්න ලොකු සහයෝගයක් ලැබුණා. තවම චිත්‍රපටිය ප්‍රදර්ශනය පටන් අරන් කෙටි කාලයයි ගතවුණේ. හොඳ ප්‍රතිචාර තිබෙනවා මගේ චරිතයට. ඒත් මම හිතන්නේ මම සාර්ථක වුණේ් 75% පමණ ප්‍රමාණයක්. දැන් චිත්‍රපටිය නරඹද්දී මට හිතෙනවා මට තවත් හොඳින් මේ චරිතය කරන්න තිබුණා කියලා.

මෙහි ඇතැම් විට යොදාගෙන තිබෙන ඇඳුම් පැලඳුම් නිසා ඇතැම් කෙනෙක් මෙය බටහිරට හුරු චිත්‍රපටියක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. මේ විලාසිතා ගැන ඔබේ හැඟීම කෙබඳුද?
මෙහි කතාව ගොඩනැඟෙන්නේ කොළඹ සාමාන්‍ය සුපිරි පැළැන්තිය කේන්ද්‍ර කරගෙන. ඒ නිසා ඊට උචිත පරිදි ඇඳුම් පැලඳුම් තෝරාගෙන තිබුණා. නමුත් ලංකාවේ මොන දේ කළත් විවේචන එනවා. අපේ රටේ අය විලාසිතා කරන්න කැමති නමුත් ගොඩාක් අය ඒ දේවල් කරන්නේ හොරෙන්. විලාසිතාවලට හිතේ කැමැත්තක් තිබුණත් සමාජ සම්මතයන්ට කොටුවෙලා ඉන්නවා.

මෙහි කෙටි ඇඳුම් විලාසිතා යොදාගෙන තිබුණේ දර්ශන කිහිපයක පමණයි. කෙටි ඇඳුමක් ඇන්දා කියලා එයින් ලොකු හානියක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මෙහි ඇඳුම් තෝරාගෙන තිබුණේ ඒ ඒ චරිතවලට ගැළපෙන ආකාරයටයි. ඒවා අපේ සමාජයේ සාමාන්‍යයෙන් භාවිත කරන ඇඳුම් මිස අමුතු ඇඳුම් නොවෙයි.

මේ නිර්මාණයෙන් පසුව ඔබ වෘත්තීය වශයෙන් සිනමා නිළියක් බවට පත්වේවිද?
නැහැ. දැනට මම වෘත්තීය වශයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. අනිත්‍යා චිත්‍රපටියෙන් පසු මට තවත් චිත්‍රපටි දෙකකට ආරාධනා ලැබුණත් මම ඒවා බාරගත්තේ නැහැ.

එයින් අදහස් කරන්නේ මේ ඔබේ ප්‍රථම චිත්‍රපටිය වගේම අවසන් චිත්‍රපටිය බව ද?
නැහැ, මම උදයකාන්ත වර්ණසූරිය මහතාගේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටියට සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටියත් මේ වසරේ ප්‍රදර්ශනයට නියමිතයි. ප්‍රථමයෙන්ම සිනමා නිර්මාණයක් මඟින් ප්‍රේක්‍ෂකයන් අතරට එන්න ලැබීම රංගන ශිල්පිනියක් ලෙස මම ලබපු ලොකු වාසනාවක්.

මේ ගමන හෙමින් යන්න ඕනා. මට තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබෙනවා. මම නිර්මාණයක් බාරගන්නේ පිටපත කියවලා ඒ චරිත මට ගැළපෙනවා නම් පමණයි. ඒ වගේම මම තෝරාගන්නේ යමක් කරන්න පුළුවන් චරිත. මම තාම සිනමාව ගැන අධ්‍යයනය කරනවා. මම ගොඩාක් චිත්‍රපටි බලනවා.

සිංහල සිනමාව තුළ “අනිත්‍යා” සිටින්නේ කුමන තලයකද?
“අනිත්‍යා” කියන්නේ පවතින සමාජ තත්ත්වය විවරණය කරන්නක්. ඒ නිසා මේ චිත්‍රපටිය මඟින් ලොකු පණිවිඩයක් සමාජයට ගෙන යනවා. බලපු ගොඩාක් අය කිව්වේ චිත්‍රපටිය නරඹලා එළියට එනකොට ඔළුව හිස් නැහැ කියලයි. මෙය වාණිජ චිත්‍රපටියක් වුවත් වාණිජ ස්වරූපය තුළ කලාත්මක බවක්, ගොඩනඟන්න නාලක උත්සාහ කර තිබෙනවා.

මේ චිත්‍රපටිය මැද මාවතක ගමන් කරන චිත්‍රපටියක්. ආදර කතා පුවතක් තේමා කරගත්තද බොළඳ පෙම් පුවත් අබිබවා තාරුණ්‍යයේ ආදරයේ ගැඹුරු තැන් ස්පර්ශ කරන්න අධ්‍යක්‍ෂවරයා උත්සාහ කර තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ “අනිත්‍යා” චිත්‍රපටියට සම්බන්ධ වීමට ලැබීම මා ලබපු භාග්‍යයක්.

චතුරිකා ගමගේ

අනිත්‍යා චිත්‍රපටයේ ජයාරූප එකතුවක් මෙතනින් 










 








 

Gossip Lanka Hot News Previous News Archive