අඩු ආදායම් ලබන පවුල්වලට අඩුවෙන් ද වැඩි ආදායම් ලබන පවුල්වලට වැඩියෙන් අයවන ලෙස ද විදුලි ගාස්තු සංශෝධනය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා දේවී වන්නි ආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.
වැඩබලන විපක්ෂ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මා භාරගැනිමට ප්‍රථමයෙන් විදුලි බිල සංශෝධනය කිරීමේ ඉල්ලිම් යෝජනාව ඉදිපත් කර තිබුණා. පසුගිය වසර කිහිපය තුළ විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව මිට හේතුවී වුණා. විදුලිය උත්පාදනය සඳහා විශාල මුදලක් හා පෞද්ගලික බලාගාරවලින් මිලට ගන්නා විදුලිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල වියදමක් දැරුවා.ඒ නිසා 2012 වසරේදී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලයන 61ක අලාභයක් ලැබුවා. විදුලිය උත්පාදනය සඳහා විදුලිබල මණ්ඩලය ඉන්ධන වෙනුවෙන් රුපියල් බිලයන 41ක මුදක්, පෞද්ගලික බලාගාරවලින් මිලය ගැනීම සඳහා රුපියල් බිලයන 90ක මුදලක් ඇතුළු විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 151ක මුදලක් දැරිමට සිදුවෙනවා.
මේ නිසා ලංකා විදුලිබල මණ්ඩලයට ක්ෂණිකව විසඳුම් ලබාදීමට විදුලිබිල සංශෝධනය කිරීමට පියවර ගත්තා. විදුලිබල මණ්ඩලයේ වියදම රුපියල් බිලයන 256යි. ආදායම රුපියල් බිලියන 178යි. ඒ නිසයි මේ විදුලි බිල සංශෝධනය කිරීමට හේතු වෙලා තිබෙන්නේ. අඩු ආදායම් ලාභින්ට අඩු බරක් දැනෙන විදිහටත් වැඩි ආදායම් ලාභින්ට වැඩි බරක් දැනෙන අයුරින් මේ විදුලි ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
විදුලි ඒකක 30ට අඩුවෙන් පරිභෝජනය කරන්නන්ට මසකට රුපියල් 75ක් ද ඒකක 30 - 60 දක්වා විදුලි පරිභෝජනය කරන්නන්ට මසකට රුපියල් 174කින් ද ඒකක 61 - 90 ත් අතර රුපියල් 433කින් ද විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙරට සමස්ත විදුලි පරිභෝජනය කරන ජනගහනයෙන් 70%ක් මෙම කාණ්ඩ 03ට අයත් වෙනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා විශ්වවිද්‍යාල සිසුන් විසින් කරන ලද සමීක්ෂණයකින් පසු ව මෙරට විදුලි පරිභෝජනය නොකරන පිරිස මසකට රුපියල් 323ක් වැනි මුදලක් ගෙවා විදුලිය ලබාගැනීමටහැකියාව තිබෙන බව හෙළිවී තිබෙනවා.
ඒකක 0 -30 දක්වා පවුලකට අමතර රුපියල් 75ක් වැඩි කිරීමත්, ඒකක 31-60 දක්වා පවුලකට රුපියල් 174.15කින් වැඩි කිරීම තුළින් රජය විසින් පෞද්ගලිකරණය නොකළ මහජන දේපළක් වශයෙන් පවත්වා ගෙන යන ලංකා විදුලිබල මණ්ඩලයට වියදම් පිරිමසා ගැනීමට දායක වීමට ඔබතුමන්ලා එකඟ නොවන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නැහැ.
මෙහිදී අවධානයට ලක්විය යුතු වැදගත් කරුණනම් ඒකක 0-30 දක්වා විදුලිය පරිභෝජනය කරන පවුල්1,111,125ක එක පවුලකින් රුපියල් 217.50ක විදුලි බිලක් අය කෙරෙනවා. ඒ එක පවුලක් වෙනුවෙන් රුපියල් 481.50ක සහනාධාරයක් රජය ලබාදෙනවා.
ඒකක 31-60 දක්වා විදුලිය පාරිභෝජනය කරන පවුල් 1318755 වෙනුවෙන් එක් පවුලකින් මසකට රුපියල් 546ක් අය කර ගන්නා අතර, එම පවුලක් වෙනුවෙන් තවදුරටත් රුපියල් 852ක් මසකට සහනාධාර වශයෙන් ලබා දෙනවා. ඒකක 61- 90 දක්වා විදුලිය පරිභෝජනය කරන පවුල් 1299,301 සඳහා මෙතෙක් පැවැති මිල ගණන් යටතේ මසකට අය කළ විදුලිබිල 728.40යි.
මේ මුදල නව ගාස්තු යටතේ රුපියල් 1161 දක්වා වැඩිවෙනවා. එනම් මසකට රුපියල් 432.60යි. මේ පවුල් සඳහා රජය ලබා දෙන සහනාධාරය මසකට රුපියල් 936කි. ඒකක 91-120 පරිභෝජනය කරන සංඛ්‍යාව 606,901යි. මේ අයගෙන් එක් පවුලක් පැවැති මිල ගණන් යටතේ ගෙවන ලද්දේ රුපියල් 1835ත40කි. නව මිල ගණන් යටතේ රුපියල් 2835 වනු ඇත.
මේ අනුව මසකට වැජිවී ඇති මුදල රුපියල් 999.60කි. ඒකක 121-180 දක්වා විදුලිය පරිභෝජනය කරන පවුල් 529,923 සඳහා දැනට ගෙවනු ලබන රුපියල් 3851.40කි. එය නව වැඩිවීම් අනුව රුපියල් 5355 දක්වා වැඩිවී ඇත.එම පවුලට වැඩිවූ මිල රුපියල් 1503.60කි.
ඒකක 181-210 පරිභෝජනය කරන පවුල් 40,000ක් සිටින අතර, ඔවුන් විසින් මසකට දැනට ගෙවනු ලබන්නේ රුපියල් 5363.40කි. නව වැඩිවීම අනුව රුපියල් 7959 දක්වා වැඩි වී තිබේ. ඒකක 211-240 දක්වා පරිභෝජනය කරන පවුල් 60,000ක් සිටින අතර ඔවුන් රුපියල් 9899.40ක් දැනට ගෙවයි. නව ගාස්තු යටතේ රුපියල් 13,755ක් ගෙවීමට සිදුවේ.
විදුලිබිල වැඩිවීමේ ප්‍රතිශතය පදනම්ව කෑකෝ කැසීමෙන් රාජ්‍ය ආයතනයක් වශයෙන් පෞද්ගලිකකරණය ලක් නොකර මහජන දේපළක් වශයෙන් පවත්වා ගෙන යන ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අර්බූදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයේ දූෂණ අක්‍රමිකතා පාඩු සම්බන්ධයෙන් කරන චෝදනා සම්බන්ධයෙන් මාගේ අවධානය යොමුව තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ දූෂණ අක්‍රම්කතා පාඩු නැහැයි කියා මා කියන්නේ නැහැ. ඒවා අවම කිරීමට ඇමැතිවරිය වශයෙන් මා හට සාධාරණ කාලයක් ලැබිය යුතුයි. ඇමැතිධූරය බාර ගෙන මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඒවාට පිළියම් යෙදිය නොහැකියි.
විදුලිබල මණ්ඩලයට බැංකුවලට පොලී ගෙවීමට සිදුවන බව සත්‍යයක්. මෙය යහපත් මූලය කළමනාරණයක් තුළින් අවම කර ගත යුතුයි. වියදමට සරිලන ආදායමක් නොලබන මණ්ඩලයක් දිගින් දිගටම යම් යම් ගෙවීම් සිදු කිරිමට මහජන බැංකු හරහා ණය මුදල් ගැනීම හැර වෙනත් විකල්පයක් පසුගිය වකවානුවේ තිබී නැත.
එයද අවම කර ගත හැක්කේ සංශෝධිත විදුලි ගාස්තු තුළින් ආදායම් තත්ත්වය යහපත් කර ගතහොත් පමණි. ලබන වසර මැද භාගය වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ වහාම එහි ප්රතිලාභ විදුලි පාර්භෝගිකයන්ට ලබා දෙනවා.
නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්තෝබර් මාසයේ අවසන් කරන අතර, තුන්වන අදියර ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කරනවා. එහි ප්රතිලාභ ලබන වසරේදී ජනතාවට ලබා දෙනවා.
දිනමිණ පුවත්පත ඇසුරිනි