මිනිසෙකුගේ ජීවිතයේ අර්ධ ශතකයක් ගතවීම යනු සුවිශේෂී අවස්ථාවකි. මේ අර්ධ ශතකය තවත් සුවිශේෂී වනුයේ කුඩා ළදරුවකුගේ සිට පනස් වසරක් සපිරි පිරිපුන් මිනිසකු දක්වා ආ කාලය තුළ තමන් කළ කී දෑ හි වන චමත්කාරය සහ වැදගත්කම නිසාවෙනි. අද අපේ කතා නායකයා මේ දිවි ගමනේ චමත්කාරය අතිශය සොඳුරු සිතුවිලි සමඟ විඳින්නෙකි. එපමණක් ද නොව අර්ධ ශතකයක වියපත් බව සොරා ගත් වයස් කල්‍යාණයේ උපරීමය ද තිළිණ කර ගත්තෙකි. ඔහු අපේ රටේ තවමත් ජනප්‍රිය නළුවා කිරුළ හිමිකර ගත් රන්ජන් රාමනායක ය. සිංහල සිනමාවේ ප්‍රේමවන්තයාගේ කිරුළට තවමත් හිමිකම් කියමින් අපූරු රංගන චාරිකාවක යෙදෙන ඔහු සමඟ කළ කතාබහකි මේ.
ඔබ ඔබේ දිවි ගමනේ පනස් වැනි සැතපුම් කණුවට ළඟා වූවා. අතීතය සොඳුරු සේම දුෂ්කර විය හැකියි. ආපසු හැරෙත්දි මොනව ද දැනෙන්නේ?
මේ සියලු දේ මගේම දක්ෂතාව නිසා පමණක්වත්, මගේ වීරත්වය නිසා පමණක්වත් ළඟා කරගත්ත දේවල් නොවෙයි. ඒ මොකද රන්ජන් රාමනායක කියන බ්‍රෑන්ඩ් එක හදන්න බොහොම දෙනෙක් දායක වුණා. පළමුවෙන්ම මගේ ආදරණීය අම්මා, තාත්තා.
ඊළඟට මගේ පවුලේ උදවියගේ සිට මාව පළමුවෙන්ම නාට්‍යයකට ගත් ගමේ රෙක්ස් සිල්වා, විජය කුමාරතුංග මගේ මාමා, මට රඟපාන්න අවස්ථාව දීපු අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, නළු නිළියන්, මම ගැන ලියපු පුවත්පත් කලාවේදීන් සහ මට ප්‍රතිචාර දක්වපු රසිකයන් ඇතුළු බොහෝ දෙනෙක් මේකට සම්බන්ධයි. මේ නම හැදුණේ තනි මම නිසා නොවේ. මේ සියලු දෙනා එකතු වෙලා හදපු නමක් මේක. මේ වෙලාවේ අතීතයට හැරෙද්දි මට බොහෝ සොඳුරු දේ සේම අතිශය දුෂ්කර ගමනක අමිහිරි මතකත් මතක් වෙනවා.
මම සිනමා රංගනයට පිවිසුණේ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ අතිරේක නළුවෙක් හැටියට. කොටින්ම කිවුවොත් මම කියන්න ලැජ්ජ වෙන්නෙ නෑ. මම බත් පාර්සලේට රඟපාපු නළුවෙක්. මුලින්ම මට මුදලක් ලැබුණේ නෑ. එහෙම ආපු මම මෙච්චර දුරක් එයි කියලා මටවත් හිතුණෙ නෑ. මේ තත්ත්වය මම හීනෙකින්වත් හිතපු නැති විදියට සිද්ධ වුණා.
මගේ අම්මා හැරුණු කොට මගේ ගමේ උදවිය, යාළු මිත්‍රයෝ ඇතුළු බොහෝ දෙනාගේ මතය වුණේ මට ජීවිතේට නළුවෙක් නම් වෙන්න බෑ කියන එකයි. කොටින්ම කිවුවොත් මගේ තාත්තා පවා “උඹව දාලා චිත්‍රපට හදන්න උන්ට පිස්සු ද?” කියලා ඇහුවා. එවැනි අසුබවාදී කතා මැද්දේ මගේ අම්මා හැමදාමත් කිවුවෙ “නෑ... නෑ උඹට කවදහරි විජය මාමා වගේ නළුවෙක් වෙන්න පුළුවන්” කියලයි.
මේ අසුබවාදී කතා මැද්දේ ඔබ අද ඉන්න රන්ජන් රාමනායක වෙන්නේ කොහොම ද?
මගේ පළමුවැනි ටෙලි නාට්‍යය ‘භාග්‍යා’ විකාශය වුණාම මටම දැනෙනවා මා ගැන ටිකක් උනන්දුවක් තියනව කියලා. ඔය අතරේ මම ‘ඔබටයි ප්‍රියේ ආදරේ’ චිත්‍රපටයේ මනමාලයකුගේ පුංචි චරිතයක් කරනවා. මේ චිත්‍රපටයේ දින සියයේ උත්සවයට ලයනල් පඬුවාවල මහතා මට බොරැල්ල රිට්ස් සිනමා ශාලාවට එන්න කියලා ආරාධනා කරනවා. එදා මට ස්ටේජ් එකට නගින්න නවක නළු රන්ජන් රාමනායක කියලා එනවුන්ස් කරත්දි ලොකු අත්පොළසන් නාදයක් ඇසෙනවා. එදා මට හිතුණා මටත් හිමි නිල ඡන්ද ටිකක් තියනව නේද කියලා.
මම සල්ලි දීලත් රඟපාන්න ඉල්ල ගත්ත නළුවෙක් නේ. ඒ ගැන කියන්න මම කොහෙත්ම ලැජ්ජ වෙන්නෙ නෑ. එක වතාවක් එක් අධ්‍යක්ෂවරයෙක් මට කිව්වා චිත්‍රපටයේ චරිතයක් දෙන්නම් හැබැයි ඔහුගේ පන්තියට රු. 5000 ක් දීලා එන්න කියලා. මම ඒකටත් ගියා. අන්තිමේ මට චරිතය ලැබුණෙත් නෑ. කොහොම හරි මේ ක්ෂේත්‍රයට එන්න ඕන නිසා මම විවිධ දේ කළා. සමහර වෙලාවට මීකිරි වගේ දේවල්, රෝස් කරපු කුකුල්ලු වගේ දේවලුත් අරගෙන ගියා.
එහෙම ආපු ඔබ අද සිනමාවේ වැඩිම මුදලක් අය කරන නළුවෙක් බවට පත්වුණා නේද?
ඔය වැඩිම මුදලක් අය කරන නළුවා කියන ප්‍රශ්නෙට මම හරිම බයයි. ඒ මොකද ඕකට මට ආදායම් බදු දෙපාර්තමේන්තුවට උත්තර දෙන්න වෙනවා. සමහරුන්ට හිතෙනවා ඇති මේ තනි මට ජීවත්වෙන්න මොකටද ඔච්චර මුදල් කියලා. නමුත් මම රඟපාලා හම්බ කරන සල්ලි වලින් තමයි මැදපෙරදිග ඉන්න අපේ ශ්‍රමිකයන්ට උදව් කරන්නේ. ඒ පදනමට අධික මුදලක් අවශ්‍ය වෙනවා. මට මත්පැන් සිගරැට්වලට මුදල් යන්නෙ නෑ. දෙවියන්ගේ පිහිටෙන් තවම ලෙඩක් දුකක් වෙනුවෙන් මුදල් වියදම් වෙන්නෙත් නෑ. ඒ කොහොම වුණත් තාම මම මට ය කියලා ගෙයක් හදාගත්තෙත් නෑ.
පසුගියදා ඔබට වසරේ යොවුන් නළුවාට හිමි ස්ලිම් සම්මානය ලැබුණා. ඔබ හිතනව ද ඔබ තවමත් යොවුන් කියලා.
ඔය සම්මාන උලෙළේදී වසර 07 ක් මම ජනතාවගේ නළුවා විදියට සම්මානයට පාත්‍ර වූවා. මෙවරත් මම ඔය සම්මාන උලෙළට ගියා. මම දැක්කා අපේ යොවුන් නළුවන් රැසක් මේ උලෙළට පැමිණ සිටිනවාත්. ජනතාවගේ යොවුන් නළුවා කියන මගේ නම කියනකොට මම මවිතයට පත්වුණා. පස්සේ මම මේ උලෙළේ සංවිධායකවරුන් මුණ ගැසී මේ සම්මානය නම් මට බාරගන්න බෑ කිවුවා. නමුත් ඔවුන් කිව්වේ ‘ඔබට වැරදිලා. මේ සම්මානය ගන්න නළුවා යොවුන් වෙන්න ඕන නෑ. මේ සම්මානය දෙන්නේ යොවුන් ජනතාව විසින් ඔවුන්ගේ නළුවා ලෙසට තේරූ කෙනාටයි කියලයි.
ඔබේ රංගන ජීවිතේ මේ සා දුරක් එන්න ඔබේ මවගෙන් විශාල ශක්තියක්, ධෛර්යයක් ලැබුවා. නමුත් අද ඇය ඔබ ළඟ නෑ. ඒ අඩුව ඔබට තදින් දැනෙනවා ඇති?
මගේ පෞද්ගලික ජීවිතේ මවු සෙනෙහස මට අහිමියි කියලා තවමත් මට දැනිලා නෑ. මේක මම පත්තරයකට කියන මුල්ම අවස්ථාව මේ. අදටත් මට සතියකට දවස් දෙක තුනක්වත් මගේ අම්මව හීනෙන් පේනවා. මගේ අම්මත් හරියට නක්ෂත්‍රය විශ්වාස කළා. මම බොහෝ තැන්වල ගියාම මට හමුවූ නක්ෂත්‍ර කරුවන් කීවෙත්, මගේ හඳහන බලපු බොහෝ දෙනෙක් කියන්නෙත් මගේ මවු තවමත් මගේ ළඟ ඉන්නව කියලයි.
ඔබ තවමත් අවිවාහකයි. ඔබේ මව ඉන්න කාලෙවත් ඔබ විවාහ විය යුතුයි කියලා තිබුණේ නැත්ද?
මම මොරටුවේ ගෙදර ඉන්න කාලෙත් අම්මා මාත් එක්ක හිටියා. ඒ කාලෙ තමයි මම මැදපෙරදිග ශ්‍රමිකයන්ට උදව් කරන වැඩ පිළිවෙළ පටන් ගත්තේ. ඒක ටිකක් බෙල්ල ගහල යන වැඩක්. සමහර ඒජන්සි කාරයෝ මාව මරන්නත් බලන් ඉන්නවා. සමහර අම්මලා නම් එවැනි අවස්ථාවල ඕක දාලා නිකං හිටපන් කියනවනේ. අපේ අම්මා එහෙම කිවුවෙ නෑ. උඹත් නැත්නම් ඒ අය ගැන කතා කරන්න කවුරුත් නෑ කියලා මාව ඉදිරියට තල්ලු කළා. ඒ දවස්වල මාව මුණ ගැහෙන්න අපේ ගෙදරට මේ ශ්‍රමිකයින්ගේ නෑදෑයෝ බොහෝ දෙනෙක් එනවා. අපේ අම්මා හැමදාම ලොකු බත් මුට්ටියක් ලිපේ තියනවා ඒ අයටත් එක්ක කන්න දෙන්න.
ඒ කාලේ මට මතකයි අපේ අම්මා කියනවා ‘උඹට තියෙන මේ රාජකාරිත් එක්කලා නම් කවදාවත් ගෑනියෙක් උඹත් එක්ක ඉන්නේ නෑ’ කියලා. ඒ කියන්නේ අම්මත් තේරුම් ගත්තා මට ආදරේ කරන්න විවාහ වෙන්න මගේ මේ රඟපෑමය, දේශපාලන උනන්දුවයි එක්ක අමාරුයි කියලා.
ඇත්තටම ඔබ විවාහ වෙන්නේ නෑ කියලා තීරණයක් අරන් ද ඉන්නේ.
සිද්ධාර්ථ කුමාරයත් ‘රාහුල’ කුමාරයා ඉපදුණාම කිවුවා රාහුලයෙක් උපන්නා බැඳීමක් ඇතිවුණා කියලා. මට හිතෙන්නේ ‘විවාහය’ කියන්නේ ලොකු බැඳීමක් කියලයි. ජේසුස් වහන්සේ, අබ්දුල් කලාම්, වජ්පායි, ඩඩ්ලි සේනානායක වැනි චරිත ගත්තොත් ඔවුන් ඔවුන්ගේ ගමන ගියේ මේ බැඳීම්වලින් තොරව. මට හිතෙනවා ඒ බැඳීම් අඩු වුණාම ඕනම දේකට පුදුම තරමේ නිර්භීත කමකින් මුහුණ දෙන්න පුළුවන් කියලා.
නමුත් ඔබ වියපත් වෙත්දී...
මගේ අතපය වලංගු නැති කල් මම ජීවත්වෙන්නේ නෑ. මම ඒ ගැන තීරණයක් අරන් ඉන්නේ. මිනිස්සුන්ට කරදර කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. තවමත් මම ක්‍රියාදාම චිත්‍රපටයක වීරයාගේ චරිතය රඟපානවා. මගේ ජීවිතේගැන තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය මට තිබෙනවා. ඊට කලින් සාමකාමී මරණයක් හිමි වුණොත් ඒ ගැන මට සතුටුයි.