• සහන් මේ අවුරුද්දට ලෑස්ති වෙලාද ඉන්නේ?
ලෑස්ති වෙමින් ඉන්නේ.
• කොහොමද ඒ සූදානම....?
මේ පාරත් සුපුරුදු විදියටම අපේ අවුරුදු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් අපේ 'ගම අවුලඤ්ඤං', 'මේ අවුරුදු කාලේ' කියන සංදර්ශන දෙක පැවැත්වෙනවා. ඊට අමතරව ජාතික රූපවාහිනිය, සිරස ටී.වී, හිරු ටී.වී, ටී.වී. දෙරණ, channel C, the Buddhist channel, TNL, ශ්‍රී TV යන නාළිකාවල වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඊට අමතරව ඩුබායි, අබුඩාබි සහ කුවේට්වල සන්දර්ශන පහක් තියෙනවා.
• 'අපේ අවුරුද්දට අපේ ගායනා' නිකුත් කළෙත් අවුරුද්ද වෙනුවෙන්ද?
ඔව්. අපි මේ සංයුක්ත තැටිය නිකුත් කළේ අවුරුද්ද වෙනුවෙන්. අපි කරපු නවතම අවුරුදු නිර්මාණත්, පසුගිය අවුරුදු දෙකේ තුනේදි කරපු නිර්මාණත් මේ සංයුක්ත තැටියට අඩංගුයි. ඒ වගේම මෙහි විශේෂ ගීත දෙකක් තියෙනවා. එකක් තමයි ලයනල් රන්වල නිර්මාණය කොට ගායනා කරපු මෙතෙක් එළිදැක්වූවේ නැති ගීතයක් මේ ගීත එකතුවේ තියෙනවා. අනෙක් විශේෂ ගීතය තමයි පළාත් පහකින් එන තරුණයෝ පස්දෙනෙක් එක තරුණියක් ගැන කියවෙන ගීතයක්. මේ පස්දෙනාම එක තරුණියකට පෙම් බඳිනවා. විශේෂත්වය තමයි ගීතය රචනා කරන්නෙත් පළාත් පහකින් ආව ගීත රචකයන් පස් දෙනෙක්.
මේ දේවලට අමතරව මාසිකව 'ගයමු' ප්‍රසංගය BMICH එකේදී පැවැත්වෙනවා.
Market එකක් කියලා කියන්නෙ මටත් නෙවෙයි. දේශීයත්වය කියන දේ ගැන වැඩිපුර කතාබහ කරන්නෙ අවුරුදු කාලෙට. හැබැයි අපි දේශීයත්වය ගැන කතා කරන්නේ අලුත් අවුරුදු කාලෙදී විතරක් නෙවෙයි. නිත්‍ය වශයෙන්ම අපි දේශීයත්වය පිළිබඳ ඉතුරු මාස 11 දීත් කතා කරනවා. වැඩ කරනවා. මාධ්‍ය ඔස්සේ මේ ගැන කතා කරන්නේ අලුත් අවුරුදු කාලේදි විතරක් නිසා අපිව මතක් වෙන්නෙ පෝය දවසට පන්සල් මතක් වෙනව වගේ තමයි. පෝය දවසට පන්සලට Market එකක් තියෙනවානේ.
• ඒ Trend එක හැදුවෙ ලයනල් රන්වලයන් කියලා කිව්වොත්....?
දේශීයත්වය පිළිබඳ කතා බහක් ඇති කළේ තාත්තා තමයි. මෑත භාගයේදී දේශීය සංස්කෘතිය, එහි ඇති වැදගත්කම සමාජයට දැනෙන කතිකාවක් බවට පත් කළේ තාත්තා. බොහෝ දෙනා විදේශීය සංගීතය ගැන එහෙමත් නැත්නම් ඒ ගීත ගැන රට තුළ Market එකක් ඇති කරද්දී ඊට එරෙහිව දේශීයත්වය ගැන හඬක් නැඟුවා. ඒකෙන් ඔය කියන විදියට ඒක Market එකක් බවට පත්වෙනවා.
• ඔයාලා කරන මේ දේශීය කලාව ගමට වඩා ළඟ නගරයට කියලා කිව්වොත්?
හරියට හරි. මොකද ගම වැලඳගන්නේ නගරයෙන් එන දේ. බටහිර සංගීතය, බටහිර යම් යම් දේවල් ගත්තත් මුලින්ම නගරයට තමයි ආවේ. ඒක දැක්කම ගැමි සමාජය එය වැළඳගන්නවා. අනිත් එක වඩාත් තර්ජනයට ලක්වෙලා තියෙන්නෙත් නගරයේ මනසමයි. එතකොට අපිට පුළුවන් නම් ඒ ඔළුවල වෙනස් ස්වභාවයක් ඇතිකරන්න, ග්‍රාමීය සමාජයටත් ඉබේම ඒ ගැන හැඟීමක් ඇතිවෙනවා.
• ජන සංස්කෘතිය, දේශීයත්වය පස්සේ යන එක අද වෙදදි fashion එකක් වෙලා කියලා සහන්ට හිතෙන්නේ නැද්ද?
මට ඒකට දෙන්න තියෙන හොඳම උත්තරේ තමයි කසිප්පු බොන එක fashionද එකක් වෙනවට වඩා හොඳයිනේ කොළ කැඳ බොන එක ටචඵඩඪධද එකක් වෙන එක. මං කියන්නේ fashion එකට හරි හොඳ දෙයක් කරන එක හොඳයි.
• ඒත් ඒ පිළිබඳ නිවැරැදි මතවාදයක් නැතුව fashion එකක් විතරක් වෙලා ඇතිද?
ඔව්. මං පිළිගන්නවා මීට එහා ගිය අදහසක්, මතවාදයක් තියෙන්න ඕන. අපි කියමුකෝ දැන් කෙනෙක් ඉන්නවා එයා fashion එකක් විදියට බණ භාවනා කරනවා කියලා. හැබැයි ඒකෙන් එයාගේ හිත සුවපත් වෙනවා නම් ඒකත් හොඳයිනේ. කෙනෙක් වීරයෙක් විදියට ධර්මපාලතුමාට කැමැති නම්, ඔහු විදියට හැසිරෙන්න හදනවා නම් ඒක හොඳයිනේ. විජාතික කිසි වගතුවක් නැති කෙනෙක් වීරයෙක් කරගන්නවාට වඩා ඒක හොඳයිනේ. නමුත් අපි කතා කරන්නෙ fashion එකක් වුණත් ඊට එහා ගිය දෙයක්. ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් මිනිස්සු දෙයක් වැලඳ ගන්නේ fashion එකක් වීම තුළ. අපි බලන්නෙ එහෙම trend එකක් විදියට fashion එකක් විදියට වැලඳගන්න අයට ළංවෙන්න. ඒ නිසා අපේ මේ වෑයම වෙන්නේ දේශීයත්වය පිළිබඳ trend එකක් ඇති කරන්න.
• මේ වෙද්දි රන්වල බළකාය මොන වගේ තැනකද ඉන්නෙ?
ලෝකෙ හොඳම ජන ගී කණ්ඩායම කියන තැන. ඒක සම්මානයෙන් පවා අපි ඔප්පු කරලා තියෙනවා. කැනේඩියානු ජාත්‍යන්තර ජන සංගීත තරගාවලියේ කණ්ඩායම් 60ක් අතරින් ලොව හොඳම ප්‍රාසාංගික ජන ගී කණ්ඩායම කියන තැන දිනාගන්න හැකි වුණා. ලංකාවේ දේශීය ජන නාද මාලාවට තියෙන තැන වටිනාකම පෙන්වන්න හොඳ අවස්ථාවක්.
• මේ අලුත් අවුරුද්දෙ ඔයාලගේ අලුත් බලාපොරොත්තුත් කියමු බලන්න.
අපේ බලාපොරොත්තු දීර්ඝකාලීනයි. අපිට හැබැයි ඒ සම්බන්ධයෙන් කෙටිකාලීන සැලසුම් තියෙනවා. අහසේ ඉන්නවලු, යුද්ධෙටත් ඇවිත්, ගම අවුලඤ්ඤං, පොඩි අයට ජන ගී ත්‍රී විතරක් නෙවෙයි, මේ අවුරුද්දෙ නිකුත් කරපු අපේ අවුරුද්දට අපේ ගායනා, ගීත එකතුවත් නිර්මාණය කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්. එතැනින් එහාට ගිහින් කතා කළොත් ඒ නිර්මාණ තුළින් විටින් විට කෙටිකාලීනව ජන නාද මාලා එන්නත් කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ අවුරුද්දෙත් අපි අපේ සංදර්ශන, වැඩමුළු ආදියෙන් සහ ලැබිලා තියෙන විදෙස් සංචාර මඟින් උත්සාහ කරන්නෙ හැකිතාක් අපේ අරමුණු කරා ශක්තිමත්ව ළඟා වෙන්න.
සුභාෂිණී ගුණරත්න