ලබන නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජිත පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව වෙනත් රටක පවත්වන්නැයි කැනේඩියා අගමැති ස්ටීවන් හාපර් මහතා යෝජනාවක් කිරීමට යයි. දුර්වල මානව හිමිකම් වාර්තාවක් සහිත ශ්‍රී ලංකාව පවතින තත්ත්වය මඟ හැරීම සඳහා කිසිදු ධනාත්මක පියවරක් ගෙන නැති නිසා පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව වර්ජනය කරන බවට දැනටමත් පවසා ඇති අගමැති හාපර් මේ සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වනු වෙනුවට වෙනත් විකල්ප යෝජනා රාශියක් ඉදිරිපත්ව ඇතැයි තමන් දන්නා බව කැනේඩියා පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
ලිබර්ල් පක්ෂ මන්ත්‍රි බොබ්රේ විසින් පෙරේදා (24දා) කැනේඩියා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව, දෝෂාභියෝගය හා මාධ්‍යවේදීන් මරා දැමීම පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නැවැත සලකා නොබලන්නේ මන්ද යන්නත්, පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව පැවැත්වීම සඳහා සාමාජික රටවලට කැනඩාව ආරාධනා කර මීළඟ වසර දෙකේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය කැනඩාව හිමිකර නොගන්නේ මන්ද යන්නත් විමසා ඇත.
මෙයට පිළිතුරු දුන් අගමැතිවරයා "මමත් මේ පාර්ලිමේන්තුවේ බහුතරයකුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක තීරණයක සිටිනවා. ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ අපට බරපතළ ගැටලු තිබෙන මේ අවස්ථාවේ සමුළුව එහි පැවැත්වීමත් ගැටලුවක්. සමුළුව වෙනත් තැනක පැවැත්වීමට යෝජනා කිරීමටත් තවත් සාමාජිකයන් කැමැත්තෙන් පසුවන බව දන්නවා" යැයි පැවැසීය.
කෙසේ වෙතත් පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි කොන්සර්වේටි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හියු සීගල් මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ සමුළුව සඳහා කැනඩා නියෝජිත කණ්ඩායමක් පැමිණෙනු ඇති බවයි.
එහෙත් "ද කැනේඩියන්" ප්‍රෙස් පුවත් පත පෙන්වා දී ඇත්තේ 2011 වසරේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේදී අවධාරණය කර ඇත්තේ සාමාජික රටවල් විසින් සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම්, ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යයට කළ අභියෝග පිළිබඳ නිසි පියවරක් නොගතහොත් පොදු රාජ්‍ය මණ්ඩලයේ අනාගතය අනතරුදායක විය හැකි බවයි. යුද්ධයේ අවසානයක් සමඟ එල්ල වූ චෝදනාවලට පිළිතුරු ලබාදීමේදී ශ්‍රී ලංකාව පිළිබඳ ගන්නා පියවර සෙසු රටවලට ආදර්ශයක් වනු ඇතැයි පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල අදහස වී ඇති බව එම පුවත්පත වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ අද ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය වටිනාකම් ද නොසලකා හරිමින් ශ්‍රී ලංකාව දිගින් දිගටම මානව හිමිකම් උල්ලංඝනය කරන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසනවා. ඒ බව නොසලකා හැරීමට පොදුරාජ්‍ය මණ්ඩලයීය අමාත්‍යවරුන්ට සදාචාරාත්මක හැකියාවක් නොමැති බවයි එම සංවිධානය අවධාරණය කරන්නේ.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට මාරුකළ යුතු බව ඔස්ටේ්රලියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මැල්කම් ෆේ‍්‍රසර් ද පවසනවා. එහෙත් එම සමුළුව ශ්‍රී ලංකාවේම පැවැත්වුණහොත් ඔස්ටේ්රලියානු නියෝජිතයන් ඊට සහභාගී නොකළ යුතු බවයි ඔහු කියා සිටියේ. ඒ සඳහා ඔස්ටේ්රලියානු ආණ්ඩුවට බලපෑම් කරන්නැයි ඔහු එරට ප්‍රභුවරුන්ගෙන් ඉල්ලීමක් ද කළා.