අද අලුයම යාපනයේ පිහිටි “උදයන්“ පුවත් පත් කාර්යාලයට එල්ල වු ප්‍රහාරය ඔවුන් විසින්ම සිදුකරගන්නා ලද්දක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා 'දෙරණ' රූපවාහිනියට පැවසිය.
ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ මූලික පරීක්ෂණවලින් ඒ බව අනාවරණය වී ඇති බව හුළුගල්ල මහතා කියා සිටියේය.අවුරුදු සමයේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය උදයන් පුවත්පතට සම්බන්ධ පුද්ගලයින් විසින්ම එල්ල කරගෙන ඇති බව හෙතම කියා සිටියි.මීට සතියකට පමණ පෙර කිලිනොච්චියේ පිහිටි උදයන් පුවත්පත් බෙදාහැරීම් කාර්යාලයට පහරදීම ද ඔවුන් විසින්ම සිදුකරගන්නා ලද්දක් බව ලක්ෂ්මන් හුළුගල්ල මහතා සඳහන් කළේය.
එසේ වුවද අද (12) අලුයම 5.00 ට පමණ තම පුවත්පත් කාර්යාලයට පහරදී මුද්‍රණාලයට ගිනි තැබීම පිළිබඳ අදහස් දැක්වූ "උදයන්" පුවත්පතේ කර්තෘ ටී. ප්‍රේමානන්ත් මහතා කියා සිටියේ, තම පුවත්පත් කාර්යාලයට, මාධ්‍යවේදීන්ට මෙන්ම බෙදාහැරීම් නියෝජිතයින්ටද අවස්ථා කිහිපයකදීම පහරදීම් සිදුවූ බවයි.
කිලිනොච්චියේ පිහිටි උදයන් පුවත්පත් බෙදාහැරීම් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු යාපනය පිහිටි තම ප්‍රධාන පුවත්පත් කාර්යාලයට පොලිස්පතිවරයාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටියද ඒ පිළිබඳ කිසිදු සුබවාදී ප්‍රතිචාරයක් නොදැක්වූ බව කතුවරයා කියා සිටියේය.
-දෙරණ-