ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය නොකළොත් තව වසර 70කින් උත්තර ධ්‍රැවයේ හිම දියවී මීටර් 10කින් මුහුදු මට්ටම ඉහළ යෑම නැවැතීම නතර කළ නොහැකි බවත් එවිට ලංකාවේ ප්‍රධාන නගර යටවීමේ විශාල ඉඩක් ඇතැයි බස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.මේ නිසා අලුතින් ලංකා සිතියමකුත් නිර්මාණය කිරීමට සිදුවෙතැයිද අනාගතයේදී හම්බන්තොට, තංගල්ල නගර සම්පූර්ණයෙන්ම කාන්තාර බවට පත්වීම වළක්වාලීමට නොහැකි බවද හෙතෙම පැවැසීය.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (22දා) ශ්‍රී ජයවර්ධනපුර කිඹුලාවෙල හන්දියේ සිට ජනකලා කේන්ද්‍රය දක්වා පැවැති ලෝක මිහිතල දිනට සමගාමීව පැවැති මිහිතල පා ගමන උත්සවයේදීය.
එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පරිසරය සුරැකීම දින වෙන් කිරීමෙන් කළ නොහැකි බවත් ක්‍රියාවෙන් ඒ සඳහා එක්විය යුතු බවත්ය. එසේම කුඩා කුඩා පරිසර විජ්ජාවලින් තම කඩතුරාව වසා ගනු වෙනුවට ප්‍රායෝගිකව පරිසරය සුරැකීමට යොමුවීම වඩා කාලෝචිත බවද හෙතෙම සඳහන් කරයි.
පෘථිවිය ආරම්භයේදී තිබුණු උණුසුමට පිළියම් වශයෙන් ස්වභාවධර්මයා විසින්ම ඒ කාලේ ගස්වැල්වලින් පිටකරන කාබන් පොළොවට යට කළ බවත් අද අපේ අය ඒවා ඛනිජ තෙල් කියලා අරන් අපේ විනාශය අපම කරගන්නවා යැයිද ඇමැතිවරයා සඳහන් කරයි. මේ තමයි සංවර්ධනය. අපේ විනාශය අපිම කරගැනීම තමයි සංවර්ධනය. අද ගෝලීය උණුසුම ඉහළ ගිහින් මුහුදු මට්ටම ඉහළ ගිහින්. ඇයි එහෙම වුණේ කියලා කවුරුත් කල්පනා කරන්න යැයිද හෙතෙම පවසයි.
ඇමැතිවරයා මෙසේද පැවැසීය. අපි තුන් වේලටම පාන්, රොටි, බත් කෑවත් විවිධ විලාසිතා කළත් ගුළි, කරල් වශයෙන් විවිධ වර්ගයේ බෙහෙත් බිව්වත් අවසානයට අපි කාල තියෙන්නේ ඇඳල තියෙන්නේ බීල තියෙන්නේ ගහකොළ. ගහකොළ අපිට සීතල උණුසුම දෙනවා විතරක් නෙවෙයි අපිට ජීවත් වෙන්නත් ශක්තිය දෙනවා. එහෙම වුණාම සොබාදහම වෙනුවෙන් අපි කිසිම දෙයක් කරන්නේ නෑ. ලෝකයේ ශිෂ්ටාචාරය කියන්නේ හරියට නිව්ටන්ගේ 3 වැනි නියමය වගේ එකක්. පරිසරයත් එහෙමයි. පරිසරයට අපි ආදරය කරනතුරු පරිසරය අපිව රකිනවා.
එහෙම නැති වුණාම තමයි කවදාවත් අපි දැකලා නැති රතු, නිල්, කහ වැසි වහින්නේ, ගංවතුර ගලන්නේ, නියඟය එන්නේ, පරිසරය අපට අනතුරු අඟවන්නේ. මේක ආරක්ෂා කිරීමට අපි අවධානය යොමු නොකරනතාක් අපිට ගෝලීය උණුසුම ඉහළ යෑමට පිළියම් ලබාගන්න හැකියාවක් නැතැයිද පැවැසූ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
අපේ රට ඝර්ම කලාපයීය රටක් නිසා උණුසුම තවත් වැඩියි. මේ නිසා කෘෂිකර්මාන්තය කෘමි උවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඩෙංගු උවදුරටත් මුහුණ දෙන්න වෙලා.මේක කොතරම්ද කියනවානම් බුදුන් වහන්සේ අද හිටියා නම් කිසා ගෝතමීට කියයි ඩෙංගුයි, චිකුන් ගුන්යා නොහැදුණු ගෙදරකින් අබ ඇට ගේන්න කියලා.