Pages

ලෝකයේ තුනෙන් එකකට 'හයි බ්ලඩ් ප්‍රෙෂර්' - The World Health Organisation

ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයන් තිදෙනකුගෙන්ම එක් අයෙක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය එෆ්.ආර්. මෙහෙතා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ අප්‍රේල් 7 වැනිදාට යෙදීමට නියමිත ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් පෙරේදා (03දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. අධි රුධිර පීඩනය මේ වන විට ශ්‍රී ලාංකිකයන් අතර ඉතා වේගයෙන් ව්‍යාප්ත වන රෝගයක් බවට පත්වෙමින් තිබෙන බවත් අධික ලෙස ලුණු ආහාරයට ගැනීම අධි රුධිර පීඩනය වැලඳීමට හේතුවන බවත් හෙතෙම පැවසීය.මේ රෝගයට රෝගියා ගොදුරු වෙනකම්ම තමන් අධි රුධිර පීඩනයෙන් පෙළෙනවාද යන්න පිළිබඳ නොදන්නා අතර අධික ලෙස ලුණු භාවිතය නිසා හෘදයාබාධ, ආඝාතය සහ පිළිකා වැනි රෝගයන්ද ඇතිවිය හැකි බව ඒ මහතා අවධාරණය කෙළේය.අධි රුධිර පීඩනය යනු නිහඬ මාරයෙක් ලෙස මනුෂ්‍ය ශරීරයට පැමිණෙන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය වයි.ඩී. නිහාල් ජයතිලක මහතා සඳහන් කෙළේය.

වයස අවුරුදු 40ත් 80ත් අතර පසුවන්නන්ගෙන් 36%ක් අධි රුධිර පීඩනයට ගොදුරු වී ඇති බවද, සාමාන්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට එක්කර ගැනීමෙන් 30%ක් අධි රුධිර පීඩනයට ගොදුරු වන බවද හෙතෙම කීය.

අධි රුධිර පීඩනය අවම කර ගැනීමට නම් ලුණු හා සීනි භාවිතය අවම කිරීම, මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් ඉවත්වීම, ක්‍රියාශීලීවීම සහ පලතුරු හා එළවළු ආහාරයට ගැනීම සිදුකළ යුතු යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සඳහන් කරයි.

පිසෙන බතට ලුණු වෙනුවට රම්පේ, කුරුඳු එක් කිරීම, වෑංජනවලට ලුණු වෙනුවට දෙහි, ගොරකා, සියඹලා එක්කිරීම සහ සෝස්, බිස්කට්, ලුණු යෙදූ අල තීරු වැනි ආහාර ගැනීම අඩු කිරීමෙන් අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වන හෘදයාබාධ, ආඝාතය සහ පිළිකා තත්ත්වයන්ගෙන් තොර ජීවිතයක් ගත කළ හැකි යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පවසයි.