2014දි රට අල වලින් ස්වයංපෝෂිත කළ යුතුයි - Basil Rajapaksa

දේශීය ආර්තාපල් ගොවියා ආරක්‍ෂා කිරීම සඳහා අර්තාපල් කිලෝවක් රුපියල් 65ක මුදලකට මිලදි ගැනීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් සමඟ රජය වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව ද 2014 වසරේදී ශී‍්‍ර ලංකාව අර්තාපල්වලින් ස්වයංපෝෂිත කිරීම සඳහා පියවර ගත යුතු අතර ඒ සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කැපවී කටයුතු කරන බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

දේශීය අර්තාපල් මිල පහත වැටීම හේතුවෙන් උඩරට ගොවි ජනතාවට බලපාන ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඊයේ (04) පැවති සාකච්ඡාවකදි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා විසින් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යංශය සහ වෙළඳ අමාත්‍යංශයට අදාළ ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරින්ද අර්තාපල් ගොවි සංවිධානවල නියෝජිතයින් විශාල පිරිසක් ද සහභාගි වුහ.


නුවරඑලිය සහ බදුල්ල දිස්ති‍්‍රක්ක දෙක කේන්ද්‍ර කරගනිමින් අර්තාපල් වගාව සිදුවන අතර ගොවීන් 25,000ක් පමණ වගාවේ නිරත වේ. අර්තාපල් වගාව හේතුවෙන් ඍජුව සහ වක‍්‍රව යැපෙන ප‍්‍රමාණය දෙලක්‍ෂ පනස්දහසක් පමණ වේ. ශී‍්‍ර ලංකාවේ පරිභෝජනය සඳහා මසකට අර්තාපල් මෙට්රික් ටොන් 12,000ක් පමණ අවශ්‍ය වන අතර දේශීයව නිෂ්පාදනය වන්නේ සියයට හතළිහකි.

අර්තාපල් ආනයනය හේතුවෙන් දේශීය ගොවියාට නියමිත මිලක් නොලැබීම මත ඔවුන් ඉන් ඉවත්වී තිබෙන අතර දේශීය ගොවියා ආරක්‍ෂා කිරීම සඳහා අර්තාපල් අස්වනු වෙළඳපොළට එන කාලයේදි අර්තාපල් ආනයනය නැවැත්වීම හෝ සීමාකිරීම සිදුකළ යුතු බව මෙහිදි ගොවි සංවිධාන නියෝජිතයෝ පැවසුහ.

මෙහිදි අදහස් දැක්වු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ නව කෘෂිකාර්මික වැඩපිළිවෙළ යටතේ සහල්, බඩ ඉරිඟු සහ උඳු ඇතුළු නිෂ්පාදන රැසකින් ස්වයංපෝෂිතවී ඇති බවය.

අර්තාපල් අල වගාවෙන්ද 2014 වසරේ මුල් කාර්තුව වන විට ස්වයංපෝෂිත විය යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගොවි සංවිධාන මඟින් බීජ අර්තාපල් නිෂ්පාදනය වැඩි කිරීම, අලෙවිය සඳහා නියත වැඩපිළිවෙළක් සැකසීම ඇතුව කටයුතු සඳහා පියවර ගත යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සහයෝගය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ලබාදෙන බවත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ සංවර්ධන හා මූල්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයවීර, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ශාන්ත බණ්ඩාර සහ පි‍්‍රයන්ත මායාදුන්න, නුවරඑළිය දිස්ති‍්‍රක් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි යන මහත්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරින්ද අර්තාපල් ගොවි සංවිධානවල ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් ද සහභාගි වුහ.

Gossip Lanka Hot News Previous News Archive