වසර 7ක් තුළ ඇඟලුම් කම්හල් 520ක් වැහිලා - Samanthe Vidyaratne

මේ රටේ 2005 වසර වනවිට තිබූ ඇඟලුම් කම්හල් 834න් පසුගිය ජනවාරි වනවිට ඉතිරිව ඇත්තේ ඇඟලුම් කම්හල් 314ක් පමණක් බවත්, වසර 07ක් ඇතුළත ඇඟලුම් කම්හල් 520ක් වැසීගොස් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අනාවරණය කරයි.

රාජපක්‍ෂ පාලන ක්‍රමය විසින් රටේ ආර්ථිකය විනාශයට පත් කිරීම ඊට හේතුව බව පවසන ඒ මහතා රටේ ආර්ථිකය නඟාසිටුවීම පසෙක දමා රාජපක්‍ෂ පාලනය විසින් ඇමැති මණ්ඩලය නඩත්තු කිරීමට විශාල ප්‍රමාණයෙන් මුදල් පරිහානියක් සිදු කරන බවද කියා සිටී.

වැඩිදුරටත් අදහස් පවසමින් ඔහු මෙසේද පැවසීය.

"රටේ පවතින ආර්ථික අපහසුතාවට වගකිවයුතු වන්නේ රටේ පාලකයන්. රාජපක්‍ෂ පාලනයෙන් ජනතාව අපහසුතාවට පත්වෙන ආකාරයත්, ජනතා පීඩනයත් නොතේරෙන්න තරම් ඔහු තොත්ත බබෙක් නොවේ.
අද රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳවැටිලා භාණ්ඩාගාරයට මුදල් ලැබෙන්නේ නැහැ. විදේශ රටවල් අද ලංකාවට ණයදීම නවතා තිබෙනවා. විදේශාධාර, සහනාධාර දීම 20%කින් කපා හැරලා.

අද රාජපක්‍ෂ පාලනයට පීඩිත පන්තියෙන් මිරිකා ගන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මහින්ද රාජපක්‍ෂ පාලනය ජනතාව දරාගෙන සිටියාට ජනතාව ඇවිස්සිලා ඉන්නේ.

සංවේදී නායකයා යැයි පැවැසුවාට මහින්ද රාජපක්‍ෂ විදුලි බිල වැඩිකරද්දි ඒ සංවේදීකම තිබුණේ නැහැ. වැඩි කළ විදුලි බිල මැයි පළමු වැනිදා අඩු කරනවා යැයි ඔහු පැවැසුවේ සංවේදී භාවයකින් නොවේ. ඒ සංවේදීව කළ ප්‍රකාශයක් නොවන නිසා එම ප්‍රකාශයට කිසිදු පණක් නැහැ.

එවැනි පොරොන්දු රාජපක්‍ෂ පාලනය විසින් අද ඊයේ දීපු ඒවා නොවේ. බලයට පත්වූ දවසේ පටන්ම එවැනි පණ නැති ප්‍රකාශ නිකුත් කළා. එම නිසා අපි ආණ්ඩුවට කියන්නේ ජනතාවට බොරුවට සහන දුන්නා කියලා කියන්න එපා කියලා.

රජයේ ආයතන, සංස්ථා පාඩු ලබන්නේ සාමාන්‍ය මිනිසුන් නිසා නොවේ. විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රියා නිසා නොවේ. පාලකයන්ගේ නිලධාරීන්ගේ වගකීමක් නොමැතිකම නිසයි."
*520 garment factories closed down during 7 years of Rajapaksa rule

Gossip Lanka Hot News Previous News Archive