වයස අවුරුදු දහතුනක බාලවයස්කාර පාසල් සිසුවියක බිය ගන්වා පැහැරගෙන ගොස් දූෂණය කළැයි සැකපිට 74 හැවිරිදි 'වඩේ මාමා' නමින් හඳුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහෙස්ත්‍රාත් අමරසිරි හෙට්ටිගේ මහතා නියෝග කළේය.
අනුරාධපුර අශෝකපුර, සාලියපුර ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව කළ පැමිණිල්ලකට අනුව සැකකාර 74 හැවිරිදි සත්දරු පියා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම දැරියට වයස අවුරුදු 13 මාස 11 පමණ වන බවත් දැරියගේ මව දියණියට උදරාබාධයක් හට ගැනීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඇය පරීක්ෂා කළ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා ඇය ගැබ් ගැනීමෙන් අනතුරුව ගබ්සා වී ඇති බවට නිගමනය කරමින් වෛද්‍ය වාර්තාව නිකුත් කර තිබූ බවයි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ, පෙබරවාරි මාසයේදී තමන් පාසල් ගොස් නිවෙසට පැමිණ තනියම නිවෙසේ සිටියදී වඩේ සීයා නමින් හඳුන්වන පුද්ගලයා පැමිණ තමන් නිවස පිටුපස වූ බඩඉරිඟු හේනකට බලෙන් ඇදගෙන ගොස් දූෂණය කළ බවත්ය.