ඔබේ අත ඔබම බලාගන්න 8 - Palm Reading

නිර්භීත බව, සටන්කාමී බව හෙළිකරන කුජ රේඛාව
පසුගිය කලාප තුළින් අත්ලක පිහිටි ප්‍රධාන රේඛාවන් හය පිළිබඳව එකින් එක විස්‌තර කළා ඔබට මතක ඇති. අපි හිතනවා, දැන් ඔබ එම රේඛාවන් පිළිබඳව දැනුමක්‌ ලබාගෙන ඇති කියා. අද අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන රේඛාවන්ට අමතරව අත්ලක පිහිටන අප්‍රධාන රේඛාවන් පිළිබඳවයි. 

ඒ අනුව කුජ රේඛාව පිළිබඳවයි, අද පළමුවෙන්ම විස්‌තර කරන්නේ. දබරැඟිල්ලටත්, මහපටැඟිල්ලටත් අතර පහළ කුජ මණ්‌ඩලයෙන් ආරම්භ වී ජීවන රේඛාවට සමාන්තරව ජීවන රේඛාව හා නොගැටී මැණික්‌ කටුව දෙසට විහිදයන රේඛාව කුජ රේඛාව වේ. ජීවන රේඛාවට ප්‍රබල ශක්‌තියක්‌ ලබාදෙන කුජ රේඛාවෙන් කෙනකුගේ නිර්භීත බව, ධෛර්යය, සටන්කාමී බව, කෝප සහගත බව ආදී ගුණාංග ප්‍රකට වෙයි.

 කුජ රේඛාවක්‌ ඇති අයගේ සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් වන අතර ඔවුනට ජීවිතයේ දුක්‌ කරදර බාධා මැඩගෙන ඉදිරියට යැමේ ප්‍රබල ආත්ම ශක්‌තියක්‌ ඇත. ජීවන රේඛාවේ යම් අඩුපාඩුවක්‌ ඒ කියන්නේ ජීවන රේඛාව දුර්වල වූ අවස්‌ථාවකදී කුජ රේඛාව බලවත්ව පිහිටා තිබේ නම් ජීවන රේඛාවෙන් සිදුවීමට තිබුණ යම්කිසි අනතුරු තත්ත්වයක්‌ වළක්‌වා ගැනීමේ ශක්‌තියක්‌ කුජ රේඛාවට ඇත.
ජීවන රේඛාවේ අඩුපාඩුකම් මඟහරවා එයට ජීව ශක්‌තිය ලබාදීම තමයි, මෙම රේඛාවෙන් කෙරෙන ලොකුම කාර්යය. කුජ රේඛාව ජීවන රේඛාවට ඉතා සමීපයෙන් වැටී තිබේ නම් මෑණියන් කෙරෙහිත්, ඊට ටිකක්‌ ඈත්වෙලා තිබේ නම් පියාණන් කෙරෙහිත්, තවත් දුරස්‌කර පිහිටා තිබේ නම් සහෝදර සහෝදරියන් කෙරෙහිත් මෙම රේඛාව බලපෑම් කරයි. දෙමාපියන්ගෙන් සහකරුගෙන් හෝ සහකාරියගෙන් තමන්ට බොහෝ උදව් උපකාර බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ අත්වල මෙම කුජ රේඛාව පිහිටන බව හස්‌ත රේඛා නිරීක්‍ෂණවලින් ඔප්පු වී ඇත. කුජ රේඛාවක්‌ සටහන් වී ඇති අය ඉතාමත් විශ්වාසවන්තය. ඔවුන් ගන්නා තීරණ වෙනස්‌ නොවේ. ඔවුන් යම්කිසි අරමුණක්‌ කෙරෙහි සිත යොමු වුවහොත් එය කෙසේ හෝ මුදුන් පත්කර ගැනීමට වෙහෙසෙයි.

 බලවත් ලෙස රේඛා පිහිටි අත් හිමියන්ගේ අත්වල මනාව පිහිටන ලද කුජ රේඛාවෙන් ලැබෙන ජීව ශක්‌තිය අසීමිතයි. කිසියම් කාන්තාවකගේ අතක එවැනි සුබ පිහිටීමක්‌ තිබේ නම් ඇය පතිවත රකින සැබෑ කුල කාන්තාවක්‌ විය යුතුය. අනිකුත් රේඛාවල කැඩීම්, බිඳීම් ආදිය වේ නම් එයින් ඇතිවන අසුබ ඵල අනේක විධ බාධක, මාරක මඟහරවා ජීවිතය ආරක්‌ෂා කරදීමටත් මෙම රේඛාව මගින් දෙනු ලබන රුකුල අති මහත්ය.

අස්‌වාභාවිකව පිහිටා ඇති කුජ රේඛාව අසුබ තත්ත්වයන් පෙන්නුම් කරයි. එවැනි අයට අන් අයගෙන් කොපමණ ආධාර උපකාර ලැබුණත් එයින් නිසි ප්‍රයෝජනයක්‌ ලබාගත නොහැක. අන්‍යයන්ගේ බලපෑම නිසා සිදු වන ජීවන රටාවේ නොයෙකුත් හැලහැප්පීම් ඒ මගින් අනාවරණය කරගත හැකිය. ජීවන රේඛාවත් කුජ රේඛාවත් අතර නොපැහැදිලි රේඛාවක්‌ තිබීමද අසුබදායකය. විවාහ ජීවිතයේ කඩාවැටීමක්‌ එයට හේතු වේ. කුජ රේඛාවෙන් විහිදෙන ආරෝහණ රේඛාවක්‌ ජීවන රේඛාවට සම්බන්ධ වීම සුබ පිsහිටීමකි. තීක්‌ෂණ බුද්ධියක්‌ ඇති බව එයින් පැහැදිලි වෙයි. සමහර අයගේ මෙම රේඛාව දබරැඟිල්ලටත්, මහපටැඟිල්ලටත් අතරින් පටන්ගෙන ටික දුරක්‌ විහිද ගොස්‌ ජීවන රේඛාව කැපී යන ලෙසටද පිහිටා ඇත. එවිට පිරිමියෙක්‌ නම් ස්‌ත්‍රීන් නිසාත්, ගැහැනියක්‌ නම් පිරිමින් නිසාත් චිත්ත පීඩා ඇතිවීමට පුළුවන. එමෙන්ම කුජ රේඛාවෙන් විහිදයන ආරෝහණ රේඛාවක්‌ (ඉහළට නගින) ගුරු මණ්‌ඩලයට විහිදයැම (AA) උසස්‌ විවාහයක්‌ සිදුවීමට හේතුවක්‌ වනු ඇත. 

කුජ රේඛාවෙන් විහිදුන ශාඛාවක්‌ චන්ද්‍ර මණ්‌ඩලයෙන් කෙළවර වූයේ නම් (BB) හේ අශෝභන ක්‍රියාවන්හි යෙදෙන අයෙක්‌ වන අතර සමාජයේ අගෞරවයට ලක්‌වන තැනැත්තෙකුද වෙයි. යම් හෙයකින් කුජ රේඛාව ජීවන රේඛාව ඡේදනය කරමින් චන්ද්‍ර මණ්‌ඩලයට ගියේ නම් සීමාව ඉක්‌මවා කාමාධික ක්‍රියාවන්ට යොමු වීමෙන් අකල් මරණයට පවා ගොදුරු විය හැක. මෙම රේඛාව රත් පැහැයෙන් යුතු නම් එම අත්හිමියා අධික රාගාධික බව පෙන්නුම් කරයි. කුජ රේඛාවෙන් බෙදීයන රේඛාවක්‌ දෛව රේඛාවට ඇතුළුවීම (CC) කෙනෙකුගේ ජීවිතය උසස්‌ තත්ත්වයකට පැමිණීමේ සුබ ලකුණකි.

 යම් විදියකින් කුජ රේඛාවෙන් පැනනඟින රේඛාවකින් රවි රේඛාව ඡේදනය වේ නම් එම අත් හිමියාගේ විවාහ ජීවිතය අසාර්ථක වනුයේ ඔවුන් තුළ ඇති වංචනික භාවය නිසාය. කුජ රේඛාව යම් අයෙකුගේ දුන්නක ආකාරයෙන් නැවී තිබෙන්නට පුළුවන. එවැනි අය විවාහයෙන් පසුව භාර්යාවගේ නිවසේ ජීවත් වෙයි. කුජ රේඛාව තරුවකින් අවසාන වීමද අසුබය. සාහසික දරුණු අපරාධයන්ට මුල්වන අය තුළ මෙම සලකුණ දැකිය හැක. සිකුරු මණ්‌ඩලයට ඇතුළතින් ජීවන රේඛාව අසලින්ම පිහිටන මෙම රේඛා බලපෑම් රේඛා ලෙසද හඳුන්වයි. එවැනි රේඛා හොඳින් තිබේ නම් ඔවුන්ට තම සහකරුගෙන් හෝ සහකාරියගෙන් වඩා උදව් උපකාර ලැබෙයි. එවැනි රේඛා එකකට වැඩි ගණනක්‌ ඇත්නම් ඔවුන්ගෙන් වන බලපෑම වඩාත් හිතකර වේ. 

හිඹුටානේ පියතිලක ද අල්විස්‌
අංක 158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය
දිවයින පුවත්පත ඇසුරිනි

Gossip Lanka Hot News Previous News Archive