දන්සල් 5773කින් 810ක අහිතකර කෑම

ආහාර පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ දන්සල් 810 ක් රට පුරා ප්‍රදේශවලින් වාර්තා වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ දන්සල්වලින් සියයට 80 ක්ම ලියාපදිංචි නොවූ ඒවා බව එම සංගමයේ උප ලේකම් සී.එස්. මුතුකුඩ මහතා ප්‍රකාශ කළේය.

වෙසක් උත්සවයට සති දෙකකට පමණ පෙර දන්සල් පැවැත්වීමට අදහස් කරන පුද්ගලයන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස දැනුම් දී තිබිණ.ලියාපදිංචි වීමේදී දන්සලේ තිබිය යුතු සනීපාරක්ෂක කටයුතු පිළිබඳ‍ නොමිලේ උපදෙස් ලබාදීම සිදු කෙරිණ.

රට පුරා දන්සල් 5773 වෙසක් දිනයන් වන 24,25 දෙදිනයන් තුළ පරීක්ෂාවට ලක් කළ බවත් රට පුරා දන්සල් පවත්වන බවට ලියාපදිංචි වී තිබුණේ 4876 ක් පමණක් බවත් මුතුකුඩ මහතා පැවැසුවේය.සනීපාරක්ෂාව නොමැති දන්සල්වලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීමට හෝ ‍දන්සල පැවැත්වීම නතර කිරීමට පියවර නොගත් බව ද ඒ මහතා පැවැසීය. සනීපාරක්ෂාව අවම මට්ටමේ පැවැති දන්සල් පැය කිහිපයකට නතර කර පරිභෝජනයට සුදුසු ආහාර පිළියෙළ කරන ස්ථාන බවට පත් කර දන්සල පවත්වාගෙන යාමය කටයුතු සැලැස් වූ බවත් හෙතෙම කීය.

ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතින නිසා පානීය ජල ප්‍රභව දූෂිත තත්ත්වයකට පත්ව ඇත. දූෂිත ජල ප්‍රභව දන්සල්වල ආහාර පිළියෙළ කිරීමට භාවිතා කිරීමෙන් පාචනය, හෙපටයිටිස් වැනි බෝ වන රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ද ඔහු පැවැසුවේය. ආහාර පිළියෙළ කරන ස්ථාන මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින්නේ නම් ඊ‍ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් පවතියි.

දන්සල්වලට ද එම නීතිය බල පවත්වයි. දන්සල්වලට ‍එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මානුෂීය පසුබිමක් තුළ බවත් තවදුරටත් දන්සල් පැවැත්වීමේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර පිළියෙළ කරන බවට වාර්තා වුවහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මුතුකුඩ මහතා කීය.

Gossip Lanka Hot News Previous News Archive