මේ දවස්වල මම ගොඩාක් සතුටින් ඉන්නේ, මම දායක වූ පළමු සිනමාපටය ගෞතම සිද්ධාර්ථ දින සියය පසුකරමින් සාර්ථක ලෙස තිරගත වීම එක ගැන. Colombo Fashion කියලා රූපවාහිනී වැඩසටහනක් කරනවා. මෙය මගේයි. රොෂාන් ප්‍රනාන්දු එකතු වෙලා නිෂ්පාදනය කරනවා. Art T.V.රූපවාහිනී නාළිකාවේ විකාශය කරනවා. ෆැෂන් වර්ග, ශ්‍රී ලංකාවේ සොඳුරු තැන් මූලික කරගෙන වැඩසටහන ඉදිරිපත් කරනවා. ලංකාවේ සිංහල චිත්‍රපට දෙකකට මට ආරාධනා කළා. චිත්‍රපට අධ්යක්ෂ චන්ද්‍රරත්න මහතාගේ නවතම සිනමා පටය සරදියෙල් ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා.
ඔබේ පවුලේ තොරතුරු මොනවාද?
අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි මමයි. මගේ නංගිත් ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයේ දෙව්දත්ගේ මවගේ චරිතය නිරූපණය කරනවා. ඇය දිල්හානි පෙරේරායි. මම අංජනි පෙරේරා.
ඔබ නිළියක් වීමට සිහින මැව්වාද?
පොඩි කාලේ පටන් මගේ ආශාවක් තිබුණා රංගන ශිල්පිනියක් වෙන්න. හැබැයි විනෝදාංශයක් විදියට නියැළෙන්නයි මගේ අදහස තිබුණේ.
ඒ කියන්නේ ඔබේ සිහිනය සැබෑ වුණා කියලද?
ඇත්තටම මට ගොඩාක් සන්තෝෂයි මගේ සිහිනය සැබෑවීම ගැන. විශේෂයෙන්ම ලංකා ඉතිහාසයට සම්බන්ධ චිත්‍රපටයකට දායක වීම සතුටක්. මේ භාග්‍යය මට හිමි වුණේ ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටයට සම්බන්ධ වීම නිසා. ඒ වගේම මගේ රට වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න අවස්ථාවක් ලැබීම ගැනත් සතුටු වෙනවා.
ඒ කියන්නේ ඔබේ මවුරට ශ්‍රී ලංකාවද?
මගේ මවුපියන්ගේ මවුරට ශ්‍රී ලංකාව. මමයි, නංගියි හැදුණු වැඩුණේ ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් නුවර. මම ශ්‍රී ලංකාවට ගොඩක් කැමැති සොබා සෞන්දර්යයෙන් පිරිපුන් සෞභාග්‍යමත් රටක් නිසා. මගේ හදවතින්ම මම ලංකාවට ආදරෙයි.
දගෞතම සිද්ධාර්ථ ඔබේ පළමු සිනමා නිර්මාණය හැර වෙනත් නිර්මාණවලට දායක වුණාද?
ඔව්. මේ මගේ පළමු චිත්‍රපටය. ඒ වගේම මම ඇමෙරිකාවේ චිත්‍රපට දෙකකට දායක වුණා.
ඔබට මෙවැනි දැවැන්ත සිනමා නිර්මාණයකට දායක වීමට වරම් ලැබුණේ කොහොමද?
මම රූපවාහිනී දැන්වීමක් දුටුවා ගෞතම සිද්ධාර්ථ සිනමා පටයට නළු නිළියන් තෝරා ගන්නවා කියලා. තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට මමත් පින්තූර දැම්මා. චිත්‍රපට අධ්යක්ෂ නවීන් ගුණරත්න මහතා මට කතා කරලා කිව්වා ඔහුගේ චිත්‍රපටයට මාව තෝරා ගත්තා කියලා. ඉන් පස්සේ මට ලංකාවට එන්න කියලා ආරාධනා කළා.
මගේ චරිතය ගැන මං දැනගෙන සිටියේ නෑ. ඔහුගේ ආරාධනාව පිළිඅරගෙන මම නැවැත ලංකාවට ආවා. අවුරුදු හයකට පසු මම ලංකාවට පැමිණියේ. ඔහු මගේ චරිතය පිළිබඳ පැහැදිලි කළේ ලංකාවට පැමිණියාට පසු මට ලැබී ඇති චරිතය මහා ප්‍රජාපති ගෝතමීගේ චරිතය කියලා.
මහා ප්‍රජාපති දේවියගේ චරිතය ඔබට ජීවමාන කරන්න ලැබුණු එක ගැන මොකද හිතුණේ?
ජීවිතේ මට හිමිවන්න තිබුණ දෙයක් කියා මම සිතනවා.
කොහොමද මේ වැනි චරිතයක් ගොඩනඟා ගන්න සූදානම් වුණේ?
ඒ චරිතයට අදාළ පොතපත කියවලා කරුණු එක්රැස් කර ගත්තා. චරිත ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කළා. මම නින්දෙන් පවා මගේ චරිතය මෙනෙහි කරගත්තා. මට ටිකක් අපහසු වුණේ සිංහල කතා කිරීමටයි. ඒ වගේම පිටපතේ සමහර පාලි භාෂාව පිළිබඳ අධ්‍යයන කිරීමට.
දෙබස් පුහුණු කරන්න ගුරුවරයෙක් සිටියාද?
ඇත්තටම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ මගේම සහෝදරයකු ලෙස මා ළඟින්ම ඇසුරු කරන සම්මු කසුන් මදුෂංකව. ඔහු ඉන්දියානු වේදිකා නළුවෙක්. ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා සිංහල කතා කරන්න පුරුදු වෙන්න. ඒ වගේම මේ නිර්මාණයේ අධ්යක්ෂතුමා ඇතුළු චිත්‍රපටයට දායකවූ රංගන ශිල්පීනුත් මට සහාය වුණා.
චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනෙක් මගේ රඟපෑම හොඳයි කිව්වා. ඒ චරිතයට සාධාරණයක් ඉටුකළ බව මට විශ්වාසයි. මාව දැන හඳුන ගන්නෙ නැතිව මගේ චරිතය ගැන කතා කිරීමට මට සතුටක්. ඒ වගේම මා ලබපු සම්මානය ජනතා සම්මානයයි මේ. එය මට වචනවලින් කියලා නිම කරන්න බෑ. අධ්යක්ෂතුමාත් චිත්‍රපටයේ නිෂ්පාදකතුමාත් මගේ චරිතයට මා සාධාරණයක් ඉටුකළ බව කිව්වා.
රඟපෑමට අමතරව වෙනත් කුසලතා ඔබ සතුව තියෙනවද?
කරාතේ, ආත්ම ආරක්ෂක සටන් කලාව මම ප්‍රගුණ කළා. ඉලක්කයට වෙඩි තියන්න පුළුවන්. එයින් ජයග්‍රහණ පවා මට හිමි වී තිබෙනවා.
රඟපෑම ගැන වැඩිදුර හදාරන්න ඔබගේ කැමැත්තක් තිබේද?
දැනට මා සෑහීමට පත්වෙනවා. ඉදිරියට මම ඒ සම්බන්ධව යොමු වෙන්න අදහසක් තියෙනවා.
හොලිවුඩ් චිත්‍රපට එක්ක බලනකොට ලංකාවේ චිත්‍රපට දියුණු නෑ. සිංහල සිනමාවට ජාත්‍යන්තර සම්මාන පවා හිමිවීම සතුටක්. නමුත් තව දුර ගමනක් යෑමට සිදුවන බව මට හැඟෙන්නේ. විශේෂයෙන්ම සිංහල සිනමාවේ ඓතිහාසික සිනමා පට රැසක් බිහිවීම සතුටක් මොකද එයින් අධ්‍යාපනය වගේම වින්දනය ලබන්න පුළුවන් වස්තු බීජයක් තිබෙනවා.
"ආදරය සුන්දරයි" මාලිගාව සදන්නට පෙර හොඳ අත්තිවාරමක් ශක්තිමත්ව තියන්න මගේ සූදානම. ආදරේ ගැන තවම හිතලා නෑ.
ළඟදීම ඔබ ඇමෙරිකාවට යනවාද?
මගේ වැඩකටයුතු තවම ඉවර නැති නිසා ටික කාලයක් ඉන්න වෙනවා. තවම දිනයක් නෑ.
මොනවාද ඔබගේ අනාගත බලාපොරොත්තු?
මාගේ එකම බලාපොරොත්තුව හොඳ නිර්මාණවලට දායක වෙන්නයි.
අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවාද?
මට දැන් සිංහල කතා කරන්න පුළුවන්. ඒ වගේම ගෞතම සිද්ධාර්ථ සිනමා පටයේ අධ්යක්ෂ නවීන් ගුණරත්න මහතාටත්, නිෂ්පාදකතුමා ඇතුළු මෙම චිත්‍රපටයට දායක වුණු සියලු ශිල්පීන්ට විශේෂයෙන් ස්තුති කරනවා. මගේ චරිතය ගොඩනඟා ගැනීමට දැක්වූ සහාය වෙනුවෙන්.
වසන්ත කුමාර විතානගේ