ජීවිතේ ප්‍රථම වරට මට සම්මානයක් ලැබුණා - Asha Edirisinghe

ජනප්‍රිය නිළියට මෙවරත් බොහොම උණුසුම් තරගයක් නේද ආශා තිබුණේ?
හැම අවුරුද්දකම සම්මාන උළෙලවල ජනප්‍රිය නිළිය තෝරා ගැනීමේදී උණුසුම් බවක් තරගකාරී බවක් දකින්න පුළුවන්. මමත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය හැටියට නිර්දේශ වෙලා කියලා දැනගත්තෙ කතරගම පැත්තෙ 'අළු බඳුන' රූපගත කිරීම් කරනකොට. එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. ඒත් මට ගොඩක් සතුටුයි. මේ මගේ ජීවිතේ ලැබුණු පළමුවැනි සම්මානය. ප්‍රේක්‍ෂකයන්ගේ කැමැත්තට ලැබිච්ච සම්මානය මට අභිමානයක්. ඇත්තටම සතුටක්.

ජනප්‍රිය නිළියක් හැටියට ප්‍රේක්‍ෂකයන්ගෙ මේ ආදරය ගැන ඔයාට මොකද හිතෙන්නෙ?
ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරය හරිම වැදගත්. ඒ ආදරය සෙනෙහස වැඩියෙන්ම ලබාගන්න කෙනාටනෙ මේ සම්මානය ලැබෙන්නෙ. අනෙක් එක ප්‍රේක්‍ෂකයන්ගෙ ප්‍රතිචාර නැතුව අපිට ඉස්සරහට යන්න බෑ.

එතකොට හොඳම නිළිය හැටියට ලබන සම්මානය එතරම් වැදගත් නැද්ද?
නෑ... නෑ... අනිවාර්යයෙන්ම වැදගත්. හොඳම නළුවා හෝ නිළිය වෙන එක ඕනෑම කලාකරුවකුගේ, කලාකාරියකගේ හීනයක්. ප්‍රේක්‍ෂක ආදරයත් ඒ හා බැඳුණු දෙයක්.
ජනප්‍රියම නිළිය ආශා කියල කිව්ව වෙලාවෙ මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?
මුලින්ම පුංචි තැති ගැනීමක් තිබුණා. බොරු කියන්න ඕනෑ නෑනෙ. ඒත් මම ඕනෑම දේකට මූණදෙන්නයි බලාගෙන හිටියේ. ඇත්තටම මම අහිංසකව සතුටු වුණා.

මේ සම්මානය සඳහා ප්‍රේක්‍ෂක කැමැත්ත දිනාගන්න බලපාන්න ඇත්තෙ මොන වගේ කාරණා කියලද ඔයාට හිතෙන්නෙ?
මට හිතෙන්නෙ 'අළු බඳුන' ටෙලි නාට්‍යයේ සුද්දි-සුගන්ධිකා වටා ගොඩනැඟිල තියෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය වෙන්න ඇති. සුන්දර බවක් තිබුණු චරිතයක් නොවුණත් ප්‍රේක්‍ෂකයා දැඩි ලෙස ආදරය කළා.

ජනප්‍රිය වෙන්න සුන්දර පෙනුමක් තියෙන චරිත ඕනෑ වෙන්නෙ නැද්ද?
එහෙම නෙවෙයි. ඔය කියන්නෙ ආකර්ෂණයනෙ. ජනප්‍රිය වෙන්න ඒ පුද්ගල ආකර්ෂණය විතරක් තිබිල මදි. රංගන ආකර්ෂණය සහ තවත් බොහෝ දේ බලපානවා. ප්‍රියතාව කියන්නෙ ප්‍රේක්‍ෂකයන්ගෙ හදවතේ ඇතිවන හැඟීමක්. ඒක ලෙහෙසියෙන් ගොඩනඟා ගන්න පුළුවන් දෙයකුත් නෙවෙයි.

මේ දවස්වල ඔයාට වැඩිපුර කියන්නෙ 'සුද්දි' කියලද? සුගන්ධිකා කියලද?
සුද්දි කියලත් කියනවා. සුගන්ධිකා කියලත් කියනවා. ඒ ප්‍රතිචාර බොහොම අව්‍යාජයි. මට හරි සතුටුයි.

සුද්දිව ඔයාට දැනුණෙ කොහොමද?
සුද්දි අහිංසක තරුණියක්. ජිවිතය ජයගන්න මහ පොළොවත් එක්ක හැප්පෙන කෙනෙක්. ඇය බොහොම සෙනෙහෙවන්තයි. මමත් සුද්දිට හුඟක් ආදරෙයි.

ජනප්‍රියම නළුවා සම්මානය හිමිවුණේ සාරංගට. ඔහු අළු බඳුන ටෙලි නාට්‍යයේ රණමල් විදියටත් බොහොම ජනප්‍රියයි. එකම ටෙලි නාට්‍යයක චරිත දෙකක් රඟපාන නළු නිළි යුවළක් ජනප්‍රියම නළුවා සහ නිළිය වීම ගැන මොකද හිතෙන්නෙ?
සාරංග අයියා මට සහෝදරයෙක් වගේ. මට ලොකු සතුටක් දැනුණා. අළු බඳුන ටෙලි නාට්‍යයට සාරංග අයියා කළ කැපකිරීම් මට මතක් වෙනවා. ඒ චරිතයේ හැටියට සාරංග අයියගේ දෑස්වලට ලෙන්සස් පාවිච්චි කළා. ඇස්පිල්ලම් නොගහා තමයි රඟපෑවේ. සුළඟත් එක්ක ඒක ඉතාම අසීරුයි. ඒත් සාරංග අයියා බොහොම වෙහෙසුණා. බොහොම කැපවුණා චරිතය වෙනුවෙන්. ඔහු කළ කැපකිරීම් රඟපෑම තුළින් ප්‍රේක්‍ෂකයන්ටත් දැනෙන්න ඇති. ජනතාව අතර ප්‍රියතාවක් ඇතිවෙන්න ඒ වගේ දේවලුත් හේතුවෙන්න ඇති. කොහොමටත් සාරංග අයියා බොහොම නිහතමානීයි.

ඔයාට එදා බොහෝ දෙනකුගේ සුබ පැතුම් ලැබෙන හැටි අපි දැක්කා?
ඔව්. ප්‍රවීණ අය නව පරපුරේ අය. දන්න අඳුනන බොහෝ දෙනාගේ සුබ පැතුම් ලැබුණා. විශේෂයෙන් ප්‍රවීණයන්ගෙ අවවාද උපදෙස් ලැබුණා. මං බොහොම ආදරයෙන් නිහතමානීව ඒ හැමදෙයක්ම පිළිඅරගෙන මගේ හදවතේ ඇතුළටම දාගත්තා. ප්‍රවීණ ශිල්පීන් හැමෝම වගේ මට කිව්වෙ මීළඟට ගන්න ඕනෑ හොඳම නිළිය සම්මානය කියලයි. ඒත් එක්කම මට මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාම ආදරයෙන් සුබ පැතුවා. මං ළඟින්ම ඉන්න ඒ ගොල්ලන්ට මං ගැන හරිම සතුටුයි.

අළු බඳුනෙන් පස්සේ අලුත් නිර්මාණයකට සූදානමක් නැද්ද?
අළු බඳුනට පස්සේ අලුත් නිර්මාණයකට අදහසකුත් තියෙනවා. ඒ වෙනුවෙන් ටික ටික සූදානම් වෙනවා.

රඟපෑමේදී චරිත තෝරා බේරා ගැනීමක් ඔයාගෙ තියෙනවද?
තෝරා බේරා ගැනීමක් කරනවා. ලැබෙන හැම චරිතයකටම මගේ කැමැත්තක් නෑ. කොහොමටත් චරිත තෝරා බේරා ගැනීමේදී මගේ රාමුවක් තියෙනවා.

ඒ මොන වගේද?
හැම වෙලාවකම මම කැමැති ගුණාත්මක නිර්මාණවලට දායක වෙන්න. ඇත්තටම මම හැම තිස්සෙම හිතන්නෙ ප්‍රේක්‍ෂකයාට ගුණාත්මක දෙයක් දෙන එක තමයි අපේ යුතුකම කියලා.

මොන වගේ බලාපොරොත්තුද ඔයාට තියෙන්නේ?
ලොකු බලාපොරොත්තු නෑ. හොඳින් වැඩකටයුතු කරගෙන හොඳින් ජීවිතය ගතකරන්න තමයි බලාපොරොත්තුව.

ආපහු හැරිල බලනකොට ඔයාට ඔයා ගැන මොකද හිතෙන්නෙ?
ගොඩක් සතුටුයි. ජීවිතේ ප්‍රථම වරට මට සම්මානයක් ලැබුණා. ඒක ප්‍රේක්‍ෂක ආදරය සහිත සම්මානයක්. ඒ ආදරය වැඩියෙන්ම අළු බඳුන හරහා ගොඩනැඟුණ එකක් කියල මට දැනෙනවා. මාව එතැනට ගෙන ආවාට ස්වාධීන රූපවාහිනියට මගේ ගෞරවයත්, ස්තුතියත් පුද කරනවා. ඒ වගේම මං වෙනුවෙන් එස්.එම්.එස්. එවල මාව ජනප්‍රියම නිළිය බවට පත්කළ ප්‍රේක්‍ෂක හැමෝටම බොහොම ස්තුතියි.

ධම්මිකා අක්මීමන

Gossip Lanka Hot News Previous News Archive