අසාද් සාලි රෝහලගත කෙරේ - Azath Salley hospitalized

කොළඹ මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති මෙන්ම නාගරික මන්ත්‍රීවරයෙකු වන අසාද් සාලි මහතා රොගාතුරව ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටි හෙතෙම ප්‍රශ්න කිරීම් අතරතුර දී මෙලෙස රෝගාතුරු වී ඇති බව පැවසේ.ඒ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (02) පෙරවරුවේදීය.අත්අඩංගුවට ගෙන සිටින කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා වහා නිදහස් කළ යුතු බව ඇම්නේස්ටි ඉන්ටර් නැෂනල් ආයතනය පවසයි.
නිවේදනයක් නිකුත් කරන එම ආයතනය පවසන්නේ, එසේ නොවන්නේ නම් ජාත්‍යන්තරව පිළිගත හැකි අපරාධයකට චෝදනා ගොනු කළ යුතු බවය.ඇම්නේස්ටි ඉන්ටර් නැෂනල් ආයතනයේ ආසියා ශාන්තිකර කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලී ට්‍රස්කොට් මහත්මිය පවසන්නේ,අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමත් පසුගිය සති කිහිපය තුළ ඔහුට එල්ල වී තිබූ හිංසා තුළිනුත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ විවේචකයින්ට ජීවත්වීමට සිදුව ඇති භීෂණකාරී තත්ත්වය පෙන්නුම් කරන බවය.

වෙනත් මතයන්ට එරෙහි මර්දන ව්‍යාපාරයේ නවතම වින්දියා අසාද් සාලි මහතා බව ට්‍රස්කොට් මහත්මිය සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නී ය.තරජන හිංසා හා දරුණු ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට මාධ්‍යවේදීන්ට අධිකරණයට, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හා සාලි මහතා වැනි දේශපාලනඥයින්ටත් මුහුණ දීමට සිදුව ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
මේ අතර අද පැවැති මාධ්‍ය හමුවකදී අසාද් සාලි මහතාගේ දියණිය අදහස් පළ කළා ය.ඊට අමතරව කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලි මහතා නිදහස් කර ලෙස ඉල්ලා අද පස්වරුවේ විරෝධතාවක් පැවැත් විය.දවටගහ මුස්ලිම් දේවස්ථානය අසලින් ගමන් ඇරඹි විරෝධතා පා ගමන කොළඹ මහ නගර සභාව අසලට පැමිණියේ ය.


 

සාලි ගත්තේ රජයට විරුද්ධවීමනිසයි - ලක්ෂ්මන් හුළුගල්ල

 

මේ අතර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ රජයට විරෝධතාව දැක්වීම සහ ජාතිවාදයට අනුබල දීමේ චෝදනා මත බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.විශේෂයෙන්ම ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයට අනුබල දෙන බවට ඔහුට එරෙහිව පැමිණිලි ලැබී තිබුණු බව හුළුගල්ල මහතා කියා සිටියේය.
අසාද් සාලි මහතා පදිංචිව සිටින්නේ අංක 06,මල්පාර , කොළඹ 07 යන ලිපිනයේ වුවද, අංක 25,ගාමිණී පාර, සාගරමුල්ල, කොළොන්නාව යන ලිපිනයේ සැඟවී සිටියදී අද අත්අඩංගුවට ගත් බව හෙතෙම කියා සිටියේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දීය.අසාද් සාලි මහතා කොළඹ මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.පසුව අසාද් සාලි මහතා එම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී මුස්ලිම් කොංග්‍රසයෙන් නැගෙනහිර පළාත් සභාවට තරග කරනු ලැබුවේය.

Gossip Lanka Hot News Previous News Archive