දන්සලටත් මිනීමරාගත් පාසලක මාර පුත්තු

එකම පාසලේ, එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ චාලක හා සංජීව ජීවත් වූවේද පනාගොඩ කොම්පයාහේන ප්‍රදේශයේය. කොළඹ උසස් පිරිමි පාසලක සාමාන්‍ය පෙළ හදාරමින් සිටි චාලක හා සංජීව යන දෙදෙනාටම සිටියේ එකම මිතුරන් පිරිසකි.චාලක හා සංජීව එකම ගමේ ළඟ නිවෙස්වල ජීවත් වුවත් දෙදෙනා අතර වැඩි හිතවත්කමක් තිබුණේ නැත. ගොඩගම නගරයේ පැවැත්වූ සංගීත සන්දර්ශනයකදී ඇතිවූ රණ්ඩුවක හා බහින්බස්වීමක ප්‍රතිඵලයක් වශයෙන් මේ දෙදෙනා විරසකයට පත්වී සිටියහ. ඒ නිසා දෙදෙනා කෙදිනකවත් දෙදෙනාගේම නිවෙස්වලට ගොස් මිතුදම් පැවැත්වූයේද නැත.


එළැඹෙන සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණදීම සඳහා චාලකත්, සංජීවත් අධ්‍යාපන කටයුතු මනා සේ කරගෙන ගියහ. ත්‍රිරෝද රථ රියැදුරකු වූ චාලකගේ පියාගේ එකම සිහිනය වූයේ චාලක සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත්වනු දැකීමයි.චාලක සිය පවුලේ දෙවැනියා විය. ඔහුට එක් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සොහොයුරියෝ දෙදෙනෙක් වූහ. චාලකට ඔවුහු මහත්සේ ආදරය කළෝය. චාලක, සංජීව ඇතුළු මිතුරු පිරිසට අවශ්‍ය වූයේ හොඳින් සාමාන්‍ය පෙළ සමත්වීමටය. ඒ නිසා නිරන්තරයෙන් ඔවුහු පාඩම් පිළිබඳ කතිකා කරගන්නට රැස් වූහ.

එවන් අවස්ථාවලදී චාලකට - සංජීවත්, සංජීවට - චාලකත් මුණ ගැසුණත් ඔවුන් දෙදෙනා වචනයකට වඩා හුවමාරු කරගත්තේද නැත. බොහෝ අවස්ථාවල දෙදෙනාම හැසිරුණේ නන්නාඳුනන පරිද්දෙනි. දෙදෙනාගේ විරසකය පිළිබඳ හොඳින් දැන සිටි සෙසු මිතුරෝද ඒ පිළිබඳ ඔවුන්ගෙන් ප්‍රශ්න කෙළේද නැත.
පාඩම් වැඩවලින් සිතත් කයත් අප්‍රමාණ වෙහෙසට පත්වද්දී ඔවුන් එක්වී රෙස්ලින් සටන් ඇතුළත් චිත්‍රපට බලන්නට පටන් ගත්හ. ඔවුන් රෙස්ලින් ක්‍රීඩාවට දැක්වූයේ මහත් අහිරුචියකි.


සමහර අවස්ථාවලදී ඒවා අත්හදා බලන්නට මෙන් ඔවුනොවුන් පොර ඇල්ලූහ. ඔවුනට එම ක්‍රියාවන් ගෙන දුන්නේ සන්තෝෂයකි.

සිංහල අලුත් අවුරුදු නිවාඩුවද සතුටින් ගත කළ මේ මිතුරු නඩයට අවශ්‍ය වූයේ ගමේ කාගෙත් කතාබහට හා පැසසුමට ලක්වන ආකාරයේ ක්‍රියාවක් කිරීමටය. ඒ අනුව එළැඹෙන වෙසක් උළෙල නිමිති කොටගෙන බත් දන්සලක් සංවිධානය කිරීම වඩාත් යෝග්‍ය බවට ඔවුහු කතිකා කරගත්හ. කිසිවකු එම අදහසට විරෝධතාව දැක්වූවේද නැත.


2013.05.05 දින ඉරිදා දිනයක් වූ බැවින් චාලක පාන්දර වන තෙක් පාඩම් වැඩවල නිරත වූයේය. ඒ අතරතුර කාමරයට පැමිණි චාලකගේ අයියා සමඟ ඔහු දන්සල පිළිබඳ පැවැසුවේය.
"අයියේ මේ පාර වෙසක් එකට බත් දන්සලක් දෙන්නයි අපි හිතන් ඉන්නේ"


චාලකගේ සොයුරා වූ අංජනද එම ක්‍රියාව යහපත් බව පවසමින් කාමරයෙන් පිටවූවේය. පසුදින (06දා) උදයේ අවදි වූ චාලක සූදානම් වූයේ උපකාරක පන්ති යෑම සඳහාය.

උදේ 6.30ට පමණ චාලකත්, ඔහුගේ සහෝදරයාත් දෙදෙනාම පියා සමඟ ත්‍රිරෝද රථයෙන් උපකාරක පන්ති සඳහා පිටත් වූහ. චාලකගේ උපකාරක පන්තිය නුගේගොඩ නගරයේ පැවැති හෙයින් ඔහුව නුගේගොඩින් දැමූ චාලකගේ පියා සොයුරා අංජනව රැගෙන රාජගිරිය බලා පිටත් වූවේය.

උපකාරක පන්ති අසලට පැමිණි චාලකට දැන ගන්නට ලැබුණේ එදින උපකාරක පන්ති නොපැවැත්වෙන බවකි. එම නිසා ඔහු පන්තියේ සිටි මිතුරන්ගෙන් සමුගෙන නිවෙසට පැමිණෙන්නට බසයකට නැඟී පනාගොඩින් බැස ගත්තේය.

පනාගොඩ, කොම්පයාහේන මාර්ගයට පිවිසෙත්ම චාලකට මුණගැසුණේ ඔහුගේ මිතුරන් දෙදෙනෙකි. "චාලක අද පන්තිත් නැති එකේ අපි දන්සල දෙන වැඩේ ගැන කතා කරන්න අපේ ගෙදර යමුද? මං අනෙක් අයටත් එන්න කිව්වා" යෝජනාව ගෙන ආවේ චතූය.


දෙවරක් නොසිතූ චාලකද එම යෝජනාව පිළිගෙන චතූගේ නිවෙස දෙසට ගමන් කෙළේය. ඔහු එහි පිවිසෙන විට මිතුරන් කිහිපදෙනකු හා සංජීවත් එහි පැමිණ සිටියේය. සංජීව දෙස නොබැලූ චාලක සෙසු මිතුරන් හා ආගිය තොරතුරු කතා බස් කරන්නට වූවේය.

ඔවුන් වෙසක් දන්සල දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට පටන් ගත්හ. වෙසක් දිනය වෙනුවෙන් දන්සලක් දීමේ තීරණය සම්බන්ධයෙන් චාලක ඇතුළු මිතුරු සමාගමට මවුපිය වැඩිහිටියන්ගේ ආශීර්වාදයද හිමි වී තිබිණි. එය ඔවුනට මහත් අස්වැසිල්ලක් විය.


චාලක ඇතුළු පිරිස තම තමන්ගේ අදහස් යෝජනා චෝදනා ආදිය ඉදිරිපත් කරන්නට පටන් ගත්හ.

"සේරටම කලින් අපි දන්සලට අවශ්‍ය බඩු ගන්න සල්ලි හොයාගන්න ඕනා. මිනිසුන්ගේ ආධාර ගන්න ඕන. ඒ නිසා මුලින්ම අපි ආධාර පත්‍රයක් හදාගන්න ඕනා."
එම යෝජනාව කළේ චාලකය. සංජීව හා සෙසු මිතුරු පිරිස චාලකගේ එම යෝජනාව අනුමත කළහ. පරිගණකය අසල වාඩි වූ ඔවුන් ආරාධනා පත්‍රයක් සෑදීමට පටන් ගත්හ. මිතුරෝ සියලු දෙනාගේ වැඩි කැමැත්ත අනුව ආධාර පත්‍රය නිර්මාණය විය.


"අපෝ ඕක එච්චර හරි නැහැ. ඔයිට වඩා වෙනස් වුණා නම් හොඳයි" චාලක විසින් පළමු විරෝධතාව එල්ල කරනු ලැබුවේය. ප්‍රතියෝජනාව එල්ල කරනු ලැබුවේ සංජීව විසින්ය.

"මීට වඩා තව මොනවද හොඳ?" එහෙනම් ඔයාම හදාගන්න"
දෙන්නා දිගින් දිගටම වචනවලින් ප්‍රහාර එල්ල කරගන්නට පටන් ගත්හ. අවසානයේ වාග් ප්‍රහාරය
කෙළවර වූයේ පැරැණි කෝන්තරයන් යළිත් වතාවක් ආවර්ජනය කරමිනි.


"උඹ එදා මියුසිකල් ෂෝ එක බලපු දවසේ මට ගැහුවා නේද? මාත් වෙලාව එනකල් බලාගෙන හිටියේ."
දෙදෙනා පැරැණි සිදුවීමක් සිහිපත් කරමින් වාද කරන්නට වූහ. "හරි පුළුවන් නම් ගහපන් බලන්නැයි කියූ චාලක ඉදිරියට පැන සංජීවට පහර දුන්නේය. ඒ පහර දරා ගැනීමට නොහැකිවූ සංජීව බිම ඇද වැටුණේය. ඒ දෙදෙනාව දෙපසට කිරීමට චතූ ඇතුළු සෙසු පිරිස කෙතරම් උත්සාහ කළත් එය සාර්ථක නොවීය. චතූගේ නිවෙසේද කිසිවකු ඒ මොහොතේ සිටියේ නැත.


අපහසුවෙන් නැඟිටගත් සංජීව නැවත වතාවක් චාලකගේ ඇඟට පැන පොර බදන්නට පටන් ගත්තේය. ද්වන්ධ සටන වඩ වඩාත් උග්‍ර වන්නට වූවත් යහළුවන්ට දෙදෙනාව දෙපසට කරගන්නට නොහැකි විය. දෙදෙනාගේම ශක්තිය හා ජවය විදහා පාමින් බිම පෙරළෙමින්, නැඟිටිමින්, ඇදවැටෙමින් මාරුවෙන් මාරුවට ගුටි ඇනගන්නට පටන් ගත්තේ ඔවුන් රැස්වුණු කාරණයද අමතකවය.
යළිත් වතාවත් තියුණු ප්‍රහාරයක් එල්ල වූයේ චාලකගෙන් සංජීවටය. මිතුරන්ද එහාට තල්ලු කර දැමූ සංජීව දුවගෙන ගියේ චතූලාගේ මුළුතැන්ගෙය වෙතටය. චාලකට පහරදීමට සුදුසු දෙයක් ඇත්දැයි ඔහු විපරම් කර බැලුවේය. ඔහුගේ අතට අසුවූයේ පාන් කපන්නට පාවිච්චි කරන කුඩා පිහියකි.


පිහිය අමෝරාගත් සංජීව නැවත වතාවත් යුද පිටියට අවතීර්ණ වූවේය. චාලකද පසුබැස්සේ නැත. සංජීව තම අතේ රැඳී පිහිය එහාට මෙහාට වනන්නට වූවේය. පිහි තුඩෙහි පහර වැදී චාලකගේ සිරුර කැපී ලේ ගලන්නට විය.

"සංජීව ඕක නතර කරලා පිහිය විසි කරලා දානවා."


චතූ කෙතරම් කීවත් සංජීවත් පිහිය අතහැරියේ නැත. චාලක නැවත නැවතත් සංජීව හා පොර බදමින් පිහිය උදුරා ගන්නට උත්සාහ දැරුවේය. කෝපයට පත් සංජීව අතේ තිබූ පිහිය තදින් අල්ලාගෙන චාලකගේ ගෙල ප්‍රදේශයට පහර දුන්නේය. ඉන් නොනැවතුණ සංජීව චාලකගේ මුහුණටත් පපු ප්‍රදේශයටත් පිහියෙන් ඇන්නේය.


වේදනාත්මක පිහි පාරවල් දරා ගන්නට නොහැකි වූ චාලක වේදනාවෙන් කෙඳිරිගාමින් බිම ඇද වැටුණේය. චාලකගේ ස්වරූපය දුටු මිතුරන්ගෙන් සමහර අය පසුපස නොබලා එතැනින් පලා යන්නට පටන් ගත් අතර එක් අයෙක් සංජීව ඇදගෙන ගොස් කාමරයකට දමා ‍ෙදාර අගුළු ලෑවේය.

ඉතිරි වූ චතූ ඇතුළු කිහිප දෙනකු එක්වී චාලකව ත්‍රිරෝද රථයක නංවාගෙන හෝමාගම රෝහල වෙත රැගෙන ගියේ "යාළුවව පඩිපෙළින් වැටිලා තුවාල වුණා" යැයි පවසමිනි. කැපුම් තුවාලත්, වැටුණු විට ඇතිවන තුවාලත් අතර වෙනස වටහාගත් රෝහලේ කාර්ය මණ්ඩලය ඔවුන් දෙස බැලුවේ වපරැසිනි.


ඒ වන විටත් බොහෝ සේ තුවාලවලින් රුධිරය පිටවීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි චාලකව වහාම කොළඹ ජාතික රෝහලට යැවීමට වෛද්‍යවරු පියවර ගත්හ. කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු චාලකගේ ජීවිතය බේරා ගැනීමට කෙතරම් උත්සාහ කළාත් මාරයා පරාජය කිරීමට වෛද්‍යවරු සමත් වූයේ නැත. එදින අලුයම 4.00ට පමණ චාලක සදහටම දෑස වසාගත්තේය.


සිදුවී ඇති සියල්ල දැනගත් චාලකගේ පවුලේ අය රෝහලට යන විටත් චාලක ඔවුන්ගෙන් සමුගෙන ගොස් තිබිණි. මේ පිළිබඳ දැනගත් අතුරුගිරිය පොලිසිය විසින් චාලකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට සංජීවව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් මාකොළ රැඳවුම් නිවාසයේ තැබීය.


පියාගේ සාමාන්‍ය පෙළ ඒ 9යේ සිහිනය බිඳ දමමින් චාලක අකාලයේ ජීවිතයෙන් සමුගත්තේය. තරුණ වියේ ආවේග පාලනය කරගන්නට නොහැකි වූ නිසා සංජීව අකාලයේ අපරාධකරුවකු බවට පත්විය. කෙසේ හෝ විනාශ වී ගියේ මතු අනාගතයේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් සවියක් දෙන්නට හැකියාවක් තිබූ තරුණ ජීවිත දෙකකි.


අරුණි මල්ලවආරච්චි

Gossip Lanka Hot News Previous News Archive