රනිල් ගම්පහ දී මාධ්‍යවේදීන් එළවයි

 මට මාධ්‍යවේදීන් එපා
මට මාධ්‍යවේදීන් අවශ්‍ය නෑ. මගේ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රචාරය ලැබෙනවා. එබැවින් මේ අවස්ථාවට සහභාගී වූ සියලු මාධ්‍යවේදීන් වහා පිට වී යා යුතුයි’. යනුවෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ගම්පහ දී ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රික් එ.ජා.ප. ප්‍රගති සමාලෝචන රැස්වීම ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම මහතාගේ නි‍ෙවසේදී පසුගිය දා (10) පැවැති අතර ඒ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් කැඳවීම පිළිබඳ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවරයාට දොස් පවරමින් මේ කතාව කියා තිබේ.
මේ නිසා ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරයා දැඩි අපහසුතාවට පත්විය. මේ අවස්ථාවට සහභාගි වීමට පස්වරු 4ට පමණ විපක්ෂ නායකවරයා පැමිණෙන බව දන්වා තිබූ නමුත් ඔහු පැමිණ ඇත්තේ පස්වරු 5.30ට පමණය.එක්සත් ජාතික පක්ෂයේ බලකිරීම නිසා පවතින රජය 2014දී මහා මැතිවරණයක් පැවැත්වුවහොත් පසුගිය මැතිවරණවලදීද පරාජයට පත්වූ ගම්පහ ආසනය ජය ගැනීමට ගම්පහ – ආසන සංවිධායකවරයාගේ ශාඛා ප්‍රතිසංවිධාන ශක්තිය ප්‍රමාණවත් නොවන බව පැවසූ විපක්ෂනායක තමාගේ කටයුතු සඳහා ප්‍රමාණවත් මාධ්‍ය ආවරණයක් ලැබෙන නිසා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සේවය අනවශ්‍ය බව පවසා ඔවුනට පිටව යන ලෙස පැවසීය.
මේ අවස්ථාවට සහභාගිවීම සඳහා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේ මහතාද සහභාගිවී සිටි අතර විපක්ෂ නායකවරයාගේ මෙම අවිචාරවත් හැසිරීම ගැන එම අවස්ථාවට සහභාගිවීම සඳහා පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයන්ද, පාක්ෂිකයන්ද, ගම්පහ ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම මහතාද දැඩි කළකිරීමට පත්ව සිටිති.

Gossip Lanka Hot News Previous News Archive