පෙර පාසල් දරුවාත් මරාගෙන රියෑදුරාත් එලොව යයි !

දැන නොමඟ ගිය ගමනේ කෙළවර...
පෙර පාසල් දරුවන් රැගත් වෑන් රථයක් පාදුක්ක අරුක්වත්තේදී ඊයේ (14) උදේ දුම්රියක ගැටීමෙන් පෙර පාසල් දරුවකු හා වෑන් රථ රියදුරා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ පාදුක්ක ගලගෙදර අංක 242 / සී නිවසේ සිව් හැවිරිදි රසිඳු මල්සර නැමැති පෙර පාසල් දරුවකු හා වෑන් රථ රියදුරු වන පාදුක්ක මාවතගම කොස්වත්ත පදිංචිව සිටි ආර්.ඒ. හේමන්ත පුෂ්පකුමාර (39) යන අයෙකි.අනතුර සිදුව ඇත්තේ අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක වෑන් රථය ගැටීමෙනි.

අනතුර සිදුවූ වෑන් රථය පාදුක්ක සිරි පියරතන විදුහල ඇතුළු ඒ අවට විදුහල් කිහිපයක සිසු දරු දැරියන් බස්සවා, නැවත පෙර පාසල් සිසු දරුවන් රැගෙන පැමිණ අවසාන සිසු දරුවා වන මිය ගිය දරුවා අරුක්වත්ත සිඟිති පෙර පාසලට බැස්සවීමට පාදුක්ක ඉංගිරිය මාර්ගයේ අරුක්වත්ත මොරගහතැන්න පන්සල ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගය හරහා වෑන් රථය දැමීමේදී අනතුර සිදු වී ඇත.සිද්ධිය දුටු එම්.අයි. චාමර දසුන් තරුණයා මෙසේ පැවසීය. මම දුම්රිය මාර්ගය අසල සිටින විට වෑන් රථය පාදුක්ක පැත්තේ සිට පැමිණ එකවරම දුම්රිය හරස් මාර්ගයෙන් දැමුවා. ඉන් පසු වෑන් රථය නතර කර නැවත ඉදිරියට යාමේදී දුම්රියේ වෑන් රථය ගැටී වෑන් රථය අඩි ගණනාවක් ඉදිරියට තල්ලු කරගෙන දුම්රිය පැමිණියා. අනතුරුව අවට අය එකතු වී බැලූ විට කුඩා ළමයෙකු හා වෑන් රථයේ රියදුරු තුවාල වී සිටියා. වෑන් රථයෙත් වෙනත් කවුරුවත් සිටියේ නැහැ.


දුම්රිය සහායක රියදුරු යු.ඩී. කරුණාරත්න අපි අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් සිටියා. මෙසේ පැමිණෙන විට පෙ.ව. 7.20 ට පමණ පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නව පිහිටි අරුක්වත්ත දුම්රිය හරස් මාර්ග හරහා වෑන් රථය දැම්මා.

අපි ඊට පෙර නලාව කීප වරක්ම ශබ්ද කළත් වෑන් රථය දැම්මා. දුම්රිය සෙමින් පැමිණියත් එකවරම නතර කළ නොහැකි වූවත් අපට කිරීමට හැකි උපරිම උත්සාහය ගෙන දුම්රිය නතර කර ගත්තා. අනතුරුව දැක ගන්නට ලැබුණා කුඩා දරුවකු හා වෑන් රථයේ රියදුරු මිය ගොස් සිටි බව.

මිය ගිය දරුවාගේ හා වෑන් රථ රියදුරාගේ මෘත දේහයන් පාදුක්ක රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. හෝමාගම පොලිස් අධිකාරී (II) ජී. විමලසිරි මහතාගේ උපදෙස් මත පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.





*Train-van accident kills two - Two persons including a child were killed after a van collided with a train at an unprotected railway crossing in the Arukwatta area in Padukka,

Gossip Lanka Hot News Previous News Archive