විදුලි බිලට එරෙහි විරෝධතා - රජයට පක්‌ෂව පෙළපාළි

විදුලි ගාස්‌තු වැඩි කිරීම සම්බන්ධව ආණ්‌ඩුව සහ විදුලි බිල වැඩි කිරීමට එරෙහි ජනතා ව්‍යාපාරය ඊයේ (15 වැනිදා) පැවැත්වූ උද්ඝෝෂණ දෙක කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී එකිනෙකට හමුවී උණුසුම් තත්ත්වයක්‌ උද්ගත වීමට තිබූ ඉඩකඩ වැළකී සාමකාමීව නිමාවට පත්විය. ආණ්‌ඩුවේ සහ විපක්‍ෂ උද්ඝෝෂණ දෙක සඳහා දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ සහභාගි වූහ.

ආණ්‌ඩුවේ උද්ඝෝෂණයෝ උද්ඝෝෂණ පෙළපාලිය කොළඹ ලේක්‌ හවුස්‌ වටරවුමින් සවස 2.00 ට ආරම්භ කර සවස 4.30 පමණ වන විට කොටුව දුම්රිය පළ ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වී විසිර ගියහ.

විපක්‍ෂයේ උද්ඝෝෂකයෝ සිය පෙළපාලිය සවස 2.00 ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ කර සවස 4.30 පමණ වන විට කොටුව දුම්රිය පළ ඉදිරියට පැමිණියහ.ආණ්‌ඩුවේ උද්ඝෝෂකයෝ විපක්‍ෂයේ උද්ඝෝෂකයන් කොටුව දුම්රිය පළ වෙතට ළඟා වනවාත් සමග විසිර ගියහ. එනිසා දෙපාර්ශ්වය එකිනෙකට හමුවීම නිසා ඇතිවීමට ගිය ගැටුමක්‌ අනූනවයෙන් වැළකී ගියේය.ආණ්‌ඩුව උද්ඝෝෂණය කළේ විපක්‍ෂය විදුලි බිල වැඩි කිරීමේ මුවාවෙන් රට දෙකඩ කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට සහාය දක්‌වන බව පවසමිනි.
විපක්‍ෂය උද්ඝෝෂණය කළේ විදුලි බිල ජනතාවට දරාගත නොහැකි අයුරින් වැඩි කරමින් ගෙන යන අකාර්යක්‍ෂම පාලනය නිසා ආණ්‌ඩුව පලවා හැරිය යුතු යෑයි පවසමිනි.

ආණ්‌ඩුවේ උද්ඝෝෂණය සඳහා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම යන මහත්වරුද පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුද සහභාගි වී සිටියහ.

විපක්‍ෂයේ උද්ඝෝෂණය සඳහා එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේක, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නායක මනෝ ගනේෂන් යන මහත්වරුද වෘත්තීය සමිති නායකයෝද සහභාගි වූහ.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාර දෙක නිසා ඊයේ (15 වැනිදා) සවස කොළඹ කොටුව ටෙක්‌නිකල් හන්දිය, මරදාන, බොරැල්ල, බේස්‌ලයින් පාර දැඩි වාහන තදබදයකට ලක්‌ව තිබිණි.විපක්‍ෂයේ උද්ඝෝෂණය, බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වී මැගසින් බන්ධනාගාරය අසලින් මරදාන වෙතට පැමිණ ටෙක්‌නිකල් හන්දිය ඔස්‌සේ කොටුව දුම්රිය පළ ඉදිරිපිටට පැමිණියේය.

ආණ්‌ඩු පක්‍ෂයේ උද්ඝෝෂණය ලේක්‌ හවුස්‌ වටරවුමින් ආරම්භ කර කොටුව දුම්රිය පළ ඉදිරිපිටට පැමිණියේය.විපක්‍ෂයේ උද්ඝෝෂකයන් කොටුව දුම්රිය පළ ඉදිරිපිටට පැමිණි පසු විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ සහ වෘත්තීය සමිති නායකයෝ දුම්රිය පළ ඉදිරිපිට ගුවන් පාලම මතට නැඟ උද්ඝෝෂකයන් ඇමැතූහ.

එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විදුලි බිල ජනතාවට දරාගත නොහැකි බවත් ඊට විරෝධය පාමින් ජනතාව ඒකරාශි කරන බවත්ය. ආණ්‌ඩුව නිදහස්‌ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කප්පාදු කරමින් ජනතාව මත බර පටවන බවත් දැන් විදුලි ගාස්‌තුවත් වැඩි කරමින් ජනතාවගේ සාක්‌කුවට ගහන්න හදන බවත් විදුලි ගාස්‌තු වැඩි කිරීමේ යෝජනාව ආණ්‌ඩුව හකුලා ගන්නා තුරු මෙවැනි උද්ඝෝෂණ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා කීවේ මේ දූෂිත ආණ්‌ඩුව පලවා හැරීම සඳහා ජනතා සහාය ලැබීම දිනපතා වැඩි වන බවත් ජනතාවට සහන නොදෙන ආණ්‌ඩුව පලවා හැර ජනතා සහන සලසන නව රජයක්‌ ළඟදීම පත්කර ගන්නා බවත්ය.

ආණ්‌ඩුවේ උද්ඝෝෂකයන් සිය උද්ඝෝෂණය අවසන් කර විසිර ගියේ ලබන 21 වැනිදා කිසිම රාජ්‍ය ආයතනයක වැඩවර්ජනයක්‌ සිදු නොකරන බවටත් එදිනට වෙනදාටත් වඩා වැඩකරන දවසක්‌ බවට පත්කරන බවටත් පොරොන්දුවක්‌ ලබාදෙමිනි.විපක්‍ෂයේ උද්ඝෝෂණය සඳහා එජාප සාමාජිකයන් වන කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, දයාසිරි ජයසේකර මහත්වරුන්ද සිරිතුංග ජයසූරිය, සුනිල් රත්නප්‍රිය යන වෘත්තීය සමිති නායකයන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.
Against the Increased Electricity Bill






Gossip Lanka Hot News Previous News Archive