විශ්ව විද්‍යාලවලට 'මිලිටරිමය ප්‍රචණ්ඩත්වය මුදා හැරලා'

ශිෂ්‍ය ප්‍රජාව ආණ්ඩුවට අවනත කර ගැනීමේ අරමුණින් විශ්ව විද්‍යාල තුලට "මිලිටරිමය ප්‍රචණ්ඩත්වය" මුදා හරීමට කටයුතු කරමින් සිටින බවට විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයෝ ආණ්ඩුවට චෝදනා කරති.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කතා කළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් සරසවි ශිෂ්‍ය නියෝජිතයන්ගේ නිවෙස්වලට ගොස් සියලු දේශපාලන ක්‍රියාකාරකම් නවතා දමන මෙන් තරජනය කොට තිබෙන බවද කියා සිටියේය.

"ඔහු එය විග්‍රහ කළේ රාජ්‍ය ත්‍රස්තවාදය ලෙසින් "
එම මර්ධනය දැන් ඉතා අනතුරුදායක තත්ත්වයකට පත් වී තිබෙන බව පවසන ඔහු, පසුගියදා පැහැර ගැනීමට ලක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජානක ශිෂ්‍යයාට මරණ තර්ජන එල්ල කොට මුදා හරින ලද බවට ආරක්ෂක අංශවලට චෝදනා කළේය.

"ජානක සහෝදරයාව පැහැර ගෙන ගොස් ප්‍රශ්න කරන අවස්ථාවේ දී ප්‍රකාශ කරලා තිබෙනවා අතුරුදහන් වෙන්න කැමති නම්, එහෙම නැත්නම් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න කැමති නම් උද්ඝෝෂණවලට නායකත්වය දෙන්න එහෙම නැත්නම් පාඩුවේ ඉන්න කියල," ඔහු පැවසීය.

විශ්ව විද්‍යාල තුල පැති කිහිපයකින් "මිලිටරිකරණය" ක්‍රියාත්මක වන බවට චෝදනා කරන සංජීව බණ්ඩාර, සිසුන්ට ලබාදෙන හමුදා පුහුණුව එහි එක් පියවරක් පමණක් බවද බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

"මේ හමුදා කඳවුරු හරහා දිනා ගන්නා ශිෂ්‍යයෝ ඔත්තුකරුවන් ලෙස යෙදවීම, ඒ වගේම හමුදා ඔත්තුකරුවන් සිසුන් ලෙස විශ්ව විද්‍යාලවලට එවීම, ඒ වගේම පරිපාලන නිලධාරීන් ලෙස හමුදා ඔත්තුකරුවන් බඳවා ගැනීම," වැනි විවිධ උපක්‍රම මාර්ගයෙන් එය ක්‍රියාත්මක වන බවයි, ශිෂ්‍ය නායකයා අවධාරණය කරන්නේ.

Gossip Lanka Hot News Previous News Archive