Pages

මිතුරා මරා පොල් වළක හංගලා !

 "පොල් වළ උඩ පොල් පැළයකුත් හිටවලා..."
එම කතාව මෙසේය ...
ගමගේ ප්‍රේමසිරි බෙරළිහෙල ගමේ කවුරුත් හැඳින්වූයේ හීන් මහත්තයා නමිනි. දරුවන් දෙදෙනකුගේ පියකු වූ ප්‍රේමසිරි ගමේ අහිංසකයකු ලෙස කාටත් කරදරයක් හිරිහැරයක් නැතිව ජීවත් වූ අයෙකි.

ලුණුගම්වෙහෙර ජලාශය නිම කිරීමත් සමඟම ප්‍රේමසිරිට බෙරළිහෙල වම් ඉවුරෙන් අක්කර ගණනක ඉඩම් ලැබුණු අතර ඔහු සිය දරු පවුල ද සමඟ වසර 15 ක් පමණ කාලයක් ගමේ ගොවිතැන් කරගෙන ජීවත් විය. රොසලින් ඔහුගේ බිරියයි. ප්‍රේමසිරි බෙරළිහෙල ගමේ කුඹුරු කරගෙන ජීවත් වුවද රොසලින් සිය දරු දෙදෙනාද සමඟ ජීවත් වූයේ බෙලිඅත්ත නිහිලුව ප්‍රදේශයේය. ඒ නිසා ප්‍රේමසිරි දරුවන් හා බිරිය බලන්නට නීහිලුවට ගියේ සති දෙකකට තුනකට වරක්ය.

දරුවන් හා බිරියට දැඩි සෙනෙහසක් දැක්වූ ප්‍රේමසිරි ඉඩක් ලැබුණු මොහොතක මෙන්ම අතට කීයක් හෝ මුදලක් ලැබුණු හැටියේම දරුවන් හා බිරිය බලන්නට ගියේය. ඒත් ඔහු වැඩි කාලයක් ගතකළේ බෙරළිහෙල ගමේය.

මේ අතර බෙරළිහෙල ගමේ තමාට අයත් අක්කර තුන් කාලක ඉඩමක් විකුණා ගැනීමට ඔහුට දැඩි අවශ්‍යතාවක් තිබුණි. ඔහු මේ බව ගමේ දෙතුන් දෙනෙක්ට කීවද ප්‍රේමසිරිගේ බිරිය මේ බව දැනගෙන සිටියේ නැත.

ඒ 2013 මාර්තු 13 වනදාය. තිස්සමහාරාම උසාවියේ පැවැති නඩුවකට පෙනී සිටීමට ගිය ප්‍රේමසිරීට ගමේ පදිංචිකරුවකු වූ විමලසේන හමුවූයේ ඔය අතරය. එහිදී විමලසේන සමඟ කතා බහට වැටුණු පේ‍්‍රමසිරි කීවේ තමාගේ අක්කර තුන් කාලේ ඉඩම හදිස්සියේ විකුණන බවය. විමලසේන පැමිණ සිටියේද නඩුහබයක් සඳහාය. ඉඩම ලක්ෂ හතකට විකුණන බව කීවද විමලසේන අන්තිමට කීවේ ලක්ෂ පහකට දෙන්නේ නම් ඉඩම තමා මිලදී ගැනීමට කැමති බවය. ඊට ප්‍රේමසිරිද කැමැත්ත පළ කළේය.

එදාම ඉඩම් ගනුදෙනුව කිරීමට දෙදෙනාම එකඟ වූහ. එදාම සවස විමලසේන ප්‍රේමසිරි ද කැටුව සිය මෝටර් සයිකලයෙන් නැඟී ගමේ ජේ. පී. මහත්තයා හමුවීමට ගියේ දිවුරුම් සහතිකයක් මඟින් ඉඩම ලියා ගන්නටය. ඊට ජයන්ත ද එකතු විය. ඔහු ගොවි නියාමකවරයෙකි. ජයන්ත මීට සම්බන්ධ වූයේ සාක්කියට අත්සන් කිරීම සඳහාය. බයිසිකලයෙන් විමලසේනගේ නිවෙසට පැමිණි මිතුරන් දෙදෙනා සමඟ විමලසේන සිය මෝටර් සයිකලයට නැගී ජේ.පී මහත්තයාගේ ගෙදරට ගියේය.

මේක ලියන්න රුපියල් පන්සියයක මුද්දර ඕන...” ජේ.පී මහත්තයා කීවේය. දිවුරුම් පෙත්සම ලියන අයුරු කොළයක සටහන් කොට විමලසේන අතටදුන් ඔහු එය කොම්පියුටර් ටයිප් කොට මුද්දර සමඟ ගෙනෙන ලෙසද කීවේය.

පසුදා යළි ලියකියවිලි සකසා මුද්දර සමඟ තිදෙනාම ජේ.පි මහත්තයා ඉදිරියේ පෙනී සිටියහ. ප්‍රේමසිරි ඉඩම ලක්ෂ පහකට විකිණීමටත් විමලසේන එය මිලදී ගැනීමටත් කතිකා කරගෙන තිබුණේය.

කෝ...සල්ලි සල්ලි ගෙනාවේ නැද්ද?” ජේ.පී මහත්තයා ඇසුවේ ගනුදෙනුවේ මුදල් පෙනෙන්නට නොතිබූ නිසාය.

හරි...මම ගෙදරදි ඒක දෙන්නම්...මහත්තයා දිව්රුම් පෙත්සම ලියලා දෙන්න...”

විමලසේනගේ කතාවට ප්‍රේමසිරි හිස වැනුවේ ඒ වනවිටත් දෙදෙනා එලෙස කතාබස් කරගෙන තිබූ නිසාය. සාක්කියට අත්සන් කළේ ජයන්තය. ඉඩම් ගනුදෙනුව අවසානයේ තිදෙනාම විමලසේනගේ ගෙදරට පැමිණියහ. පැමිණි පුෂ් බයිසිකලයේ නැඟී ජයන්ත පිටවූ අතර ප්‍රේමසිරි විමලසේනගේ ගෙදර නැවතුණේ මුදල් රැගෙන යාම සඳහාය.

සතියක් දෙකක් මෙසේ ගතවිය. ඒත් ප්‍රේමසිරි යළි බෙරළිහෙලට ගියේ නැත. බිරිය රොසලින්ට ද සැමියාගේ නොපැමිණීම කිසියම් ප්‍රශ්නයක් වුවද කොයි මොහොතේ හෝ ප්‍රේමසිරි ගෙදර එන බව රොසලින් සිතුවාය.

සති දෙකකට පසුව බෙරළිහෙල ගමේ පදිංචි කරුවකු වු ජයසිරිට හිටි හැටියේ රොසලින් හමුවිය.

ඇයි අක්කේ ප්‍රේමසිරි අයියා අර ඉඩම විකුණුවේ අපරාදෙනේ...ඊට වඩා වැඩි ගාණකට දෙන්න තිබුණනේ...” ජයසිරි මල්ලිගේ කතාව රොසලින්ට ගෙන දුන්නේ ප්‍රශ්නයකි.

මොන ඉඩමද මල්ලියේ... මම දන්නේ වත් නැහැනේ...

ඇයි අක්කේ අයියා අර ඉඩම විමලසේන මාමාට ලක්ෂ පහකට විකුණලනේ...

අනේ මල්ලියේ මම ඔය මුකුත් දන්නේ නැහැනේ...

එසේ කී රොසලින් මේ බව සිය සැමියාගෙන් දැන ගැනීම සඳහා එදාම බෙලිඅත්තේ සිට බෙරළිහෙලට ආවාය. අතර මඟදී මඳක් නතර වී අවට බැලූ ඇයට දකින්නට ලැබුණේ තමන්ගේ සැමියාට අයත් ඉඩම විමලසේන විසින් සුද්ධ පවිත්‍ර කරමින් සිටින අයුරුය. මේ බව දුටු රොසලින්ගේ සිතට ආවේ දැඩි ආවේගයකි. ඇය අඩියට දෙකට සැමියා සොයා ගියද ප්‍රේමසිරි පෙනේනවත් සිටියේ නැත. හතර අතේ සැමියා සෙව්වද ඔහු නොදුටු තැන ඇය ගියේ වත්ත සුද්ද කරමින් සිටි විමලසේන හමුවීමටය.

මම මේක ගත්තා රොසලින්...ලක්ෂ පහක් මම ප්‍රේමසිරිට දුන්නා...”

ඉතින් කෝ දැන් ප්‍රේමසිරි...

ඔන්න ඔය මුහුදු යනවයි කියලා ගියේ...”

විමලසේන කිවේ එවන් කතාවකි. ඒත් ඔහුගේ කතාව රොසලින්ගේ සිතට ගෙනාවේ සැකයකි. කලක් තිස්සේම ප්‍රේමසිරි මුහුදු නොයන බවත් ඉඩම විකුණා ලක්ෂ පහක් අතට ගත්තේ නම් ප්‍රේමසිරි කුමකට මුහුදු ගියේද යන්නත් ඇය සැක සිතුවාය. මේ සැකයද සිතේ තබාගෙන ඔහු සිය සැමියා සොයා ගන්නට දැඩි උත්සායහයක් ගත්තද ප්‍රේමසිරි ඇයට හමුවූයේ නැත. අවසානයේ ඇය සිය සැමියාගේ අතුරුදන්වීම ගැන ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් කළාය. සැමියාගේ ඉඩමක් ලක්ෂ පහකට විමලසේනට විකිණීමේ සිදුවීම ද ඇය පොලිසියට කියා සිටියාය. ලුණුගම්වෙහෙර පොලිසියේ ස්ථානාධීපති ඉන්දික ගමගේ මහතා ඇගේ පැමිණිල්ල ද පිළිබඳ පරීක්ෂණ අරඹා ඇය පවසන පරිදි විමලසේන වද පොලිසියට ගෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කළේය.

“සර් මම ඉඩමට ලක්ෂ පහක් ප්‍රේමසිරි අතට දුන්නා”

තමන්ට කොහොමද ලක්ෂ පහ හම්බ වුණේ”
නෝනගේ මල්ලිට සීට්ටුවක් හම්බවුණා. එයා ලක්ෂ එකහමාරක් දුන්නා. සර්...නෝනා තව හැටදාහක් දුන්නා. ඉතිරි සල්ලි මගේ කුරුක්කන් විකුණලා හොයා ගත්තේ...”

විමලසේනගේ ප්‍රකාශය සටහන් කරගත් ස්ථානාධිපතිවරයා එය ඇත්තක්ද නැත්තක් ද දැනගන්නට ඔහුගේ බිරියගෙන් මෙන්ම සොහොයුරාගෙන් ද ප්‍රශ්න කළේය. ඔවුන් කීවේද විමලසේන කීදේමය. අවසානයේ ස්ථානාධිපතිවරයා විමලසේනගේ කුරුක්කන් යායේ කුරක්කන් කඩපු සේවකයන් ගෙනවිත් ප්‍රකාශ ලබා ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ කුරක්කන් වලින් ලක්ෂ තුනක් හොයා ගත හැකිද යන්න දැන ගැනීමය. තිස් ගණනකට ආසන්න සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ස්ථානාධිපතිවරයා වටහා ගත්තේ එසේ ලක්ෂ තුනක් සොයා ගැනීමට නොහැකි බවය.

මේ අතරතුර නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා හා තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී සිසිර කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මේ පිළිබඳ පරීක්ෂණ තංගල්ල කොට්ඨාස බාර අපරාධ විමර්ශන ඒකකයට පැවරිණි. පොලිස් පරීක්ෂක අනුර සුසන්ත එහි ස්ථානාධිපතිවරයාය. මේ පිළිබඳ පරීක්ෂණ මුලසිටම ඇරඹීමටත් මෙතෙක් ලුණුගම්වෙහෙර පොලිසියේ කළ විමර්ශන පිළිබඳවත් අවධානය යොමු කිරීමට ද පොලිස් පරීක්ෂක සුසන්ත තීරණය කළේය. ඒ අනුව යළිත් මුල සිටම පරීක්ෂණ ඇරඹිණි.

අතුරුදන් වූ ප්‍රේමසිරි කිසිවකු විසින් ඝාතනය කර ඇත්තේද? ලක්ෂ පහක් ඔහු සතුව තිබූ නිසා ඔහු මුදල් රැගෙන වෙන පළාතකට පැනගොස් ඇත්ද? මෙවන් ප්‍රශ්න රැසක් පසුපස විමර්ශනය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයාට අවසානයේ ඒත්තු ගියේ මේ කිසිවක් ප්‍රේමසිරිගේ අතුරුදන්වීමට අදාළ නැති බවත් ඔහු ඇත්තෙන්ම අහිංසක ගැම්වැසියකු බවත්ය.

පොලිස් පරීක්ෂක සුසන්තගේ උපදෙස් මත බෙරළිහෙල ගමට ගිය පොලිස් කණ්ඩායම් හතරක් මේ පිළිබඳ සියුම් විමර්ශනයක යෙදුණේ ඉතා රහසිගතවය. ඒ අනුව ප්‍රේමසිරිගේ බිරියගෙන් ද නැවත ප්‍රශ්න කළ නිලධාරීන් එහිදී තීරණය කළේ ලක්ෂ පහක් ඇති මිනිසකු කිසිදිනක සුළු මුදලක් ලබා ගැනීමට මුහුදු නොයන බවය. ඒ අනුව විමර්ශන කණ්ඩායමේ සැකයද එල්ල වූයේ ඉඩම මිලදී ගත් බව කියන විමලසේන වෙතය. දහ හතර වනදායින් පසු පේ‍්‍රමසිරි ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැත. ඒ අනුව ප්‍රේමසිරිගේ ජීවිතයට හානියක් වී ඇතැයි නිලධාරීහු සැක සිතූහ. ඒ සැකය මත විමර්ශන නිලධාරීහු ප්‍රේමසිරිව සැකපිට අත්අඩංගුවට ගත්හ.

අනේ සර්...මම මේ මුකුත් දන්නේ නැ... ප්‍රේමසිරි මගෙන් රුපියල් ලක්ෂ පහක් අරන් මුහුදු යනවා කියලා යන්න ගියා සර්...”

ඒත් නිලධාරීහු ඔහුගේ කතාව විශ්වාස නොකළහ. කෙසේ වෙතත් විමලසේන ගුප්ත චරිතයක් බවද පොලිසියට අවබෝධ විය. කොතෙක් ප්‍රශ්න කළත් විමලසේන කීවේ ප්‍රේමසිරිට වූ දේ තමා නොදන්නා බවයි. ලක්ෂ පහ රැගෙන ඔහු තම නිවෙසින් පිටව ගිය බවය. ප්‍රශ්න කිරීම තදින් සිදුවිය. අවසානයේ මෙතෙක් සිත තුළ තදකරගෙන සිටි “රහස” විමලසේන අනාවරණය කළේ මෙසේය.

ඉඩම ලියාගෙන තුන්දෙනාම එදා ගෙදර ඇවිත් තියෙනවා. ජයන්ත ගෙදර ගියා. පේ‍්‍රමසිරි මුදල් ගැනීමේ අදහසින් විලමලසේනගේ ගෙදර නතර වුණා. හවස විමලසේන ප්‍රේමසිරිටත් කතා කරගෙන අරක්කු බොන්න මිනිහගේ ගේ ඉස්සරහ පිට්ටනියට ගිහින් තියෙනවා. එතනදි දෙන්නම බීලා. බොනකොට ප්‍රේමසිරිට මුත්‍රා කරන්න ඕන වෙලා ප්‍රේමසිරි මුත්‍රා කරනකොට එතැනම තිබුණු බුරුත පොල්ලක් අරගෙන ප්‍රේමසිරිට ගහලා බිමට වැටුණු ප්‍රේමසිරිට තවත් පොලු පහර දෙද්දී ප්‍රේමසිරි එතැනම මැරිලා” පොලිස් පරීක්ෂක සුසන්ත සැකකාර විමලසේනගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු කළ කි දේ කීවේ එසේය. මිය ගිය ප්‍රේ්මසිරිගේ මළ සිරුරට කළ යුත්තේ කුමක්දැයි යන්න විමලසේන සිතුවේ ඉන්පසුවය. ඊට නුදුරින් තිබූ පරණ පොල්වල ඔහුගේ මතකයට ආවේය. පොල් වළ තරමක් ගැඹුරට හෑරූ විමලසේන ඉන්පසුව කළේ ප්‍රේමසිරිගේ මළ සිරුර පොල් වළට දැමීමය. ඊට උඩින් පොල්ලෙලි හා කළුගල් ද දැමූ ඔහු පොල් වළ පස් දමා වසා දැමුවේය. ඊට පසුවදා නැවත පොල් වළ ළඟට පැමිණි විමලසේන පොල් වළ උඩ පොල් පැළයක් ද සිටෙව්වේය.

විමලසේන මේ සියල්ල පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කරමින් ප්‍රේමසිරි මරා වළදමා තිබූ පොල් වළද නිලධාරීන්ට පෙන්වා සිටියේය. ඒ අනුව නිලධාරීන් පොල් වළ හාරා වළ දමා තිබූ ප්‍රේමසිරිගේ මළ සිරුර ගොඩ ගත්තේ බෙරළිහෙල ගමේ දෙනෝ දාහක් බලා සිටියදීය.

ඉඩම ලියා ගත්තම මට ලක්ෂ පහ ප්‍රේමසිරිට දෙන්න ලෝභ හිතුණා සර්...ඒකයි මම මෙහෙම දෙයක් කළේ...”

විමලසේන අවසානයේදී පොලිසිය හමුවේ කීවේය. පොලිසිය මින් නතර වූයේ නැත. මෙතෙක් සැමියාගේ කතාව ඇත්තක් බව කියමින් පොලිසියට බොරු කී ඔහුගේ බිරියගෙන් හා ඇයගේ සොහොයුරාගෙන් ද ප්‍රශ්න කළේය. ඔවුන් කීවේ විමලසේන කී පරිදි ඔහුට ඇති බිය නිසා එසේ කී බවය. නැතහොත් ඔහු තමන්ට කරදරයක් කරනු ඇතැයි සිතූ නිසාත් එසේ කී බවය.

අපරාධයක් සදා වළ දැමිය නොහැකිය. එලෙස ප්‍රේමසිරීගේ ඝාතනය හෙළිවූයේ ඒ න්‍යාය තවත් තහවුරු කරමින්ය. මිනිස් ජීවිතයක් වළ දමා එය සදා අබිරහසක් කර ගැනීමට සිතූ සැකකරු පොලිසියට කොටු වූයේ අපරාධයක් කොට සැඟව සිටිය නොහැකි බව යළි යළිත් පසක් කරමින්ය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න. නියෝජ්‍ය පොලිස්පති මැකාති පෙරේරා කොට්ඨාස බාර පොලිස් අධිකාරී සිසිර කුමාර සහකාර පොලිස් අධිකාරී ජයලත් බලගල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අනුර සුසන්ත, ලුණුගම්වෙහෙර ස්ථානාධිපති ඉන්දික ගමගේ උප පරීක්ෂක බණ්ඩාර සැරයන් සරත්(31940) චන්දන (52682) ලාල් (19260) ඥානපාල (20042) හා කොස්තාපල්වරුන් වන ගුණසේකර (44997) ගාමිණී (53724) හේමාල් (40642) රෝහණ (65245) සිරිවර්ධන (62427) මංජුල (44974) සුරංග (65265) හා රියැදුරු චන්ද්‍රසිරි (35005) යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණවලට එක්වූහ.

විමලසේන යනු මන:කල්පිත නමකි.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස්විය.

කීර්ති මෙන්ඩිස්
ඡායාරූප - චමින්ද නිරෝෂණ