බිරිය විදේශගත වූවායි සැමියා ගෙල වැලලාගෙන !

ආබාධිත දියණියක් සහිත දියණියන් තිදෙනකු තනිකර දමා බිරිය ගෘහ සේවය සඳහා විදේශගත වීමට සූදානම් වීමට විරෝධය පා ගෙල වැලලාගත් සැමියකු රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ජීවිතය බේරා ගත්තද බිරිය විදේශගත වීම නිසා මාස 6කට පසු නැවැත නිවෙසේදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ ගඟවට පාරේ පදිංචි ආනන්ද රෝහණ නමැති 43 හැවිරිදි තිදරු පියෙකි.ගම්පොළ නගරයේ පලතුරු වෙළෙදාම ඇතුළු විවිධ ජීවනෝපායන් කරමින් ජීවත් වූ මොහු වැඩිමහල් දියණියගේ අසනීප තත්ත්වය නිසා දැඩි මානසික ආතතියකින් පෙළෙමින් සිටි අයෙකි.

මීට මාස 6කට පෙර බිරිය විදේශගත වීමට සූදානම් වූ විට එයට මොහු විරෝධය පළ කර ඇති අතර එය නොතකා බිරිය විදේශගත වීමට සූදානම් වීම නිසා මොහු ගෙල වැලලාගෙන තිබේ. එයද නොතකා බිරිය විදේශගතව ඇති අතර දියණියන් තිදෙනා බලාගෙන මොහු ජීවත්ව තිබේ. ආබාධිත දියණිය මොහුගේ නැන්දම්මාගේ නිවෙසේ නතර කොට අනිකුත් දියණියන් දෙදෙනා පාසල් ගොස් පැමිණි පසු සති අන්තයේදී ඔවුන් දෙදෙනාද එම නිවෙසට ඇරලවන මොහු තනිවම ගඟවට පාරේ නිවෙසේ මේ දින දෙක ගත කර ඇත.

මේ අතර විදේශගතව සිටි බිරියට මොහු දුරකතන ඇමතුම් ගත් සෑම අවස්ථාවකම ඇගේ දුරකතන අංකයට පිරිමියකු කතා කරන බව අසල්වාසීන් හට පවසා තිබේ.අකුරු ලිවීමට අපොහොසත් මොහු තම අවු: 8ක් වූ කුඩා දියණිය ලවා ජීවිතය හානි කර ගන්නා බවට ලිපියක් ලියා ඔවුන් නැන්දම්මාගේ නිවෙසට පිටත් කර මෙසේ නිවෙසේදී ගෙල වැලලාගෙන තිබිණි.සිය දියණියන් තිදෙනාගේ ජීවිත හානි කොට ඔහුද ජීවිත හානි කරගන්නා බව පවසා තිබූ බවද ගම්පොළ පොලිසිය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබිණි.

ගම්පොළ නාවලපිටිය හදිසි මරණ පරීක්‍ෂක නලින් මැදිවක මහතා මේ සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ පැවැත් වූ අතර එහිදී සටහන් කරගත් සාක්‍ෂි හයකදී මේ කරුණු අනාවරණය වී තිබිණි.

ගම්පොළ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ඩී. එම්. සී. නීලවල මහත්මිය පශ්චාත් මරණ
පරීක්‍ෂණය පවත්වා මෙය ගෙල සිරකර ගැනීමෙන් සිදුවූ සිය දිවි හානි කර ගැනීමක් බව වාර්තා කොට තිබිණි.

Gossip Lanka Hot News Previous News Archive