ලයන් එයාර් සුන්බුන් අතර තිබී හමු වූ හැඳුනුම්පත අයිති කත ජීවතුන් අතර

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් 1998 සැප්තැම්බර් 29 වැනිදා විනාශ වී මුහුදුබත් වූ ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂණ සඳහා පසුගියදා ගොඩ ගැනීමේ දී හමු වූ ජාතික හැඳුනුම්පත හිමි කාන්තාව තවමත් යාපනයේ ජීවතුන් අතර සිටින බැව් ආරක්ෂක අංශය පවසයි.

ගුණමනි බාලසුබ්‍රමනියම් නමැති ඇය තවමත් යාපනය පුත්තූර් උතුර මිර්වේලි ගම්මානයේ ජීවත් වේ.ආරක්ෂක අංශ අදාළ කාන්තාවගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමේ දී ගුණමනි බාලසුබ්‍රමනියම් මහත්මිය පවසා ඇත්තේ මෙවැන්නකි.

මගේ ජාතික හැඳුනුම්පත අලුතින් ඉල්ලලා 1995 වර්ෂයේ මම අයදුම්පත් දැම්මා. 1995 අවුරුද්දේ යාපනයේ කොටි කලබල හින්දා අපි යාපනය අතහැරලා වවුනියාවේ පදිංචියට ආවා. යාපනයේ අපේ ගෙදරට ආපු මගේ හැඳුනුම්පත අපේ ගෙදරට අල්ලපු ගෙදර හිටපු මගේ නංගි අරගෙන තියනවා. ඒ දවස්වල යාපනයේ ඉඳලා වවුනියාවට එන්න බැරි හින්දා මගේ නංගි ප්ලේන් එකෙන් කොළඹට එන අපේ ඥාති කෙනකුට දීලා තිබෙනවා. කොළඹ ගියාට පස්සෙ අක්කට යවන්න කියලා.

මගේ ඥාතියා ඉඳලා තියෙන්නෙ එදා කොටි විනාශ කරපු ලයන් එයාර් යානයේ. යානය විනාශ වුණාට පස්සේ මම හැඳුනුම්පත ගැන ආශාව අත්හැරියා.

යුද්දේ අඩුවුණාට පස්සේ 2002 අවුරුද්දේ අපි නැවත යාපනයට ආවාට පස්සේ මම නැවත අලුත් හැදුනුම්පතක් ලබා ගත්තා. ඔහොම ඉන්නකොට තමයි පහුගිය 05 වැනිදා ලයන් එයාර් යානයේ සුන්බුන් අතරින් මගේ හැඳුනුම්පත තිබෙනවා කියලා දැනගත්තේ. 1995 ඉල්ලුම් කරපු හැඳුනුම්පත නැවත කවදාවත් දකින්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ.ලයන් එයාර් සුන්බුන් අතරින් හමු වූ ජාතික හැඳුනුම්පතෙහි වගතුග මෙතරම් වන්නට ඇතැයි කිසිවකුත් නොසිතූහ.

.

Gossip Lanka Hot News Previous News Archive