එහෙත්.. සමහර පුරුෂයන් මෙසේ සිය බිරියගේ කුසට දරුවන් පිළිගැන්වූවද ඒ දරුවන් හදාවඩා ගන්නේ කෙසේදැයි සිතන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය වට පිටාව සකසා දෙන්නේද නැත.
නීත්‍යානුකූලව විවාහ වී දරුවන් සැදූවද පිරිමියකුට සිය බිරිය හා දරුවන් හැරයාම ඉතාම පහසු කරුණකි. එහෙත් පියා හැර ගියද කුසින් වැදූ දරුවන් හැරයාම මවකට නම් කිසිසේත්ම කළ නොහැක්කකි. දරුවන් මාවතේ දමා පලායන මවුවරු ඉඳහිට හමූවූව ද වැඩි පිරිසක් එලෙස කරන්නේ නැත.
වැඳීරිය සිය දරු පැටියා බඩබැඳ ගන්නේ දරුවාට ආරක්ෂාව, ලබා දීමටය.ඇය දරු පැටියා නිදහස් කරන්නේ සිය දෙපයින් නැඟී සිට තනිව ජීවත්වීමට හැකි වූ වයසට පැමිණි පසුවය.
වඳුරු පැටවකු මාස හය හතකින් ඒ තත්ත්වයට පත්වූවද මිනිස් දරුවකු තනිව ජීවත් වීමට හැකි තත්ත්වයට පත්වන්නට අවුරුදු දහඅටක් හෝ ඊට වැඩි කලක් ගත කළ යුතුය. පියා හැර ගිය දරුවන් සමඟ තනිවන මවකට දීර්ඝ කාලයක් සිය දරු පැටවුන් බඩ බැඳගෙන සිටීමට සිදුවන්නේ එබැවිනි.
වවුනියාව පොලිස් වසමේ තාන්ඩිකුලම් පාසල් පාරේ පදිංචි සන්දරා නම් වූ තිස්හතර හැවිරිදි පස්දරු මව සැමියාගේ නොසලකා හැරීම මත දරු පස්දෙනාද සමඟ බොහෝ දුකට පත්ව අසරණව සිටියාය.
පස්දෙනාගෙන් වැඩිමල් දෙදෙනා පිරිමි දරුවන්ය. බාල තිදෙනා ගැහැනු දරුවන්ය. වැඩිමල් පිරිමි දරුවන් දෙදෙනා පාසල් අධ්‍යාපනය ලබති. වැඩිමල් දියණිය සුදර්ශිකාට වයස අවුරුදු පහමාරකි. දෙවැනියා ලදුර්ෂිකාගේ වයස අවුරුදු දෙකහමාරකි. බාල දියණිය සදුර්ශිකා වයස අවුරුදු එකහමාරක කිරි බොන දැරියකි.
දරුවන් පස්දෙනකු පවුලට එකතු වී තිබුණද සන්දරා සිය පුරුෂයා වන සුමනසිරි හා සතුටින් කල් ගතකළේ විවාහ වී වසර කිහිපයක් ගතවනතුරු පමණි.
වව්නියාව නගරයේ රූපවාහිනී අලුත්වැඩියා කරන ස්ථානයක රැකියාව කරන සුමනසිරි වෙනත් කාන්තාවක හා ඇසුරක පැටලී සිටි බැවින් ඔහුට සිය දරු පවුල පිළිබඳ අවධානය යොමු කිරීමට එතරම් ඉඩකඩ ලැබුණේ නැත.
“එයාගේ සම්බන්ධය ගැන දැනගත්ත දවස්වල මම ඒක එයාගෙන් ඇහුවා. නමුත්... ඒ හැම වෙලාවේදීම එයා මට ගැහුවා. උඹට පිස්සු, උඹට ලූස් කිය කියා මට බනිනවා. උඹටත් ඕන නම් වෙන මිනිහෙක් හොයාගනින් කියලා මට කිව්වා.”
“දිගටම අපි අතරේ රණ්ඩු තිබුණා. මීට අවුරුදු තුනකට විතර කලියෙන් දවසක එයා මාත් එක්ක රණ්ඩු වෙලා ඇඳ ළඟ තිබුණ යකඩ පොල්ලක් අරගෙන මගේ ඔළුවට ගැහුවා. ඒ පාරට මගේ ඔළුව තුවාල වුණා. වවුනියාව ඉස්පිරිතාලේ නැවතිලා බෙහෙත් කළා. ඒත්... මම එයා මට ගැහුවා කියලා එහේදී කිව්වේ නෑ. තුවාලේ සනීප වුණාට මගේ ඔළුවේ ගෙඩියක් වගේ තිබුණා. නිතරම ඔළුවේ බරක් දැනුණා. සමහර වෙලාවට මම සිහිය නැතිව ඇදගෙන වැටණා!”
“ලෙඩ කිහිපයට බෙහෙත් ගන්න මම ඉස්පිරිතාලෙට ගිය වෙලාවේ මාව මානසික වෛද්‍යවරයා වෙත යොමු කළා. මාව පරීක්ෂා කරලා මට බෙහෙත් දුන්නා. ඊට පස්සේ මාසයකට සැරයක් දොස්තර මහත්තයෙක් ගෙදරට ඇවිත් මට බෙහෙත් දීලා ගියා.”
“නර්ස් කෙනකුත් ඇවිත් මගේ ලෙඩේ ගැන අහලා යනවා. ඔය කාලේ එයාගේ රැකියාවේ ප්‍රශ්නයක් ඇති වුණා අපි පදිංචිවෙලා හිටපු ඉඩමයි ගේයි විකිණුවා. ඒක විකුණලා මේ දැන් ඉන්න ගේ කුලියට අරගත්තා. ගේ කුලියට අරගෙන දැන් අවුරුද්දක් විතර වෙනවා. මෙහේ පදිංචියට ආපූ දවසේ ඉඳලා එක දවසක්වත් එයා රෑට ගෙදර හිටියේ නෑ.”
“සතියකට දෙකකට සැරයක් ඇවිත් මට රුපියල් තුන්දාහක් දීලා ගියා. ඒ තුන්දාහෙන් දරුවන් පස්දෙනායි මමයි කාලා බිලා ගෙවල් කුලීත් ගෙවන්න ඕන. ඒත්... ඒ ලැබෙන මුදලත් අපිට ජීවත්වෙන්න කොහොමටත් ප්‍රමාණවත් වුණේ නැහැ.”
“මට දවසින් දවස ජීවිතය එපා වුණා. දරුවන් හදාගන්න මට විදිහක් තිබුණේ නෑ. එයා මට යකඩ පොල්ලෙන් ගැහුවට පස්සේ මට දිගටම බෙහෙත් බොන්න වුණා. මම මානසික රෝගියෙක් වුණා.”
“මම පත්වෙලා ඉන්න තත්ත්වය ගැන මම මුලින්ම සැමියට කිව්වා. මම කිව්වා මේ විදිහට මට ජීවත් වෙන්න බෑ. අපිට හරියට කන්න බොන්නවත් නෑ. ඒ නිසා දරුවොත් එක්ක මම මැරෙනවා කියලා. ඒත් ඒක එයා ගණනකටවත් ගත්තේ නෑ.”
“පස්සේ මම පසුගිය දාසය වැනිදා ග්‍රාම සේවක ළඟට ගිහින් මගේ ප්‍රශ්නය කිව්වා. එයා මට කච්චේරියේ මහත්තයෙක් හමුවෙන්න කිව්වා. ඒ මහත්තයා වෙනත් කාන්තාවක් ළඟට මාව යොමු කළා. එයා කිව්වා දරුවන් මඩමකට දාලා දෙන්නම්, ඒත් ඒකට ටික දවසක් යනවා. එතකම් අම්මලාගේ ගෙදර ඉන්න කියලා.”
“පස්සේ මම දරුවොත් අරගෙන අම්මලාගේ ගෙදර ගියා. ඒත්... අපේ අම්මයි තාත්තයි මාවයි දරුවොයි බාර ගන්න කැමති වුණේ නෑ. පස්සේ මම ආපහු කච්චේරියට ගියා. එදා මට මුලින්ම හමුවුණ මහත්තයාට මගේ දුක කිව්වම මට රුපියල් දෙසීයක් දීලා ගෙදර යන්න කිව්වා. පුළුවන් තරම් ඉක්මනට විසඳුමක් දෙන්නම් කියලත් කිව්වා.”
“පස්සෙ මම දරුවොත් අරගෙන ගෙදර ගියා. එදා රෑට කන්න ගෙදර කිසිම දෙයක් තිබුණේ නෑ. අල්ලපු ගෙදර කට්ටිය අපිට බත් පාර්සලයක් දුන්නා. ඒක දරුවෝ පස්දෙනාට කවලා මම බඩගින්නේ නිදා ගත්තා. රෑ තිස්සේම මම හොඳටම ඇඬුවා. නංගිට මම කෝල් කරලා දුක කිව්වා. එයත් ගණන් ගත්තේ නෑ. අන්තිමට මට දුක කියන්න කෙනෙක් හිටියේ නෑ. කියන කිසිම කෙනෙක් මට පිහිටට ආවේ නෑ. මම දරු පස්දෙනා සමඟ හරිම අසරණ තත්ත්වයට පත්වුණා.”
“එදා රෑ මගේ මල්ලිත් අපේ ගෙදර ඇවිත් රෑ නිදා ගත්තා. උදේ එයා යන්න ගියා. උදේට දරුවන්ට කන්න දෙන්න කිසිම දෙයක් තිබුණේ නෑ. එක නූඩ්ල්ස් පැකට් එකක් ගෙනත් හදලා දරුවන්ට කන්න දුන්නා. පුතාලා දෙන්නා ඉස්කෝලේ ගියා. දුවලා තුන් දෙනා මාත් එක්ක ගෙදර හිටියා”
“මම මගේ නංගිට, මල්ලිට, පවා කිව්වා මට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ. මම දරුවොත් එක්ක මැරෙනවා කියලා. ඒත් එයාලා ඒවා ගණන් ගත්තේ නෑ. ඒ කිසිම කෙනෙක් මට ආදරේ කළේ නෑ. මගේ දරුවන්ට ආදරේ කළේ නෑ. කිසිම කෙනෙක් මට සලකන්නේ නැති නිසා මම තීරණය කළා දූලා තුන්දෙනා අරගෙන ළිඳට පැනලා මැරෙනවා කියලා. එහෙම හිතලා මම දරුවන්ව ළිඳට දාලා මාත් පැන්නා. ඒත්... කට්ටියක් ඇවිත් මාව බේරගත්තා.”
දරු තිදෙනා ළිඳට දමා ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් වූ සන්දරා කුමාරි කී විස්තරය ඇසූ පොලිස් නිලධාරීන්ගේ පවා හදවත් උණුවී ගියේය.
මෙය සිදුවුණේ පසුගිය දාහත් වැනිදා උදේවරුවේදීය. තාන්ඩිකුලම පාසල් පාරේ පදිංචි කාන්තාවක් සිය ගවයන් බැඳීම සඳහා යාමට සූදානම් වූවාය. ඒ වනවිට වේලාව උදේ අටහමාර පමණ වී තිබූ අතර ගෙවත්තට පිවිසි ඇයට “අයියෝ අයියෝ..” කියා කෑ ගසන හඬක් ඇසිණි ඒ දෙසට සවන් යොමු කළ ඇයට එම හඬ ඇසෙන්නේ සන්දරාගේ නිවෙස දෙසින් බවට වැටහෙන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. සිය සැමියාට ද ඒ බව දැනුම් දුන් ඇය සන්දරාගේ නිවෙස වෙත වේගයෙන් දිව ගියාය. ඇය එම නිවෙස වෙත යන විට නිවෙසේ දොරවල් හැරදමා තිබිණි. රූපවාහිනී යන්ත්‍රයද ක්‍රියාත්මකය. එහෙත්... නිවෙස තුළ කිසිවෙක් පෙනෙන්නට නැත. ඇය මිදුලට බැස වටපිට බලනවිට යළිත් “අයියෝ” කියමින් කෑ ගසන හඬ ඇසෙන්නට විය. ඒ හඬ එන්නේ
ළිඳ දෙසිනි. ළිඳ වෙත දිව ගිය ඇය ළිඳ තුළට එබී බැලුවාය. ඇය දුටුවේ දරුවන් තිදෙනා ළිඳ මත පාවෙන අයුරුත් සන්දරා කඹයක එල්ලි ළිඳ ඇතුළේ සිට කෑ ගසන අයුරුත්ය. යළි සිය නිවෙස වෙත දිව ගිය ඇය සිය සැමියාද කැඳවාගෙන ආවාය. ඔහු පැමිණ බැලූවිට දුටුවේ සන්දරා වතුර පණිට්ටුව බැඳී කඹයේ එල්ලී ආධාර ඉල්ලා කෑ ගසන අයුරුත්, එම කඹය කැඩී යාමට ආසන්න බවත්ය.
යළි තම නිවෙස වෙත දිව ගිය ඔහු කඹයක් රැගෙනවිත් එක් කොණක් අසල වූ ගසේ බැන්දේය. ළිෙඳ් සිටින සන්දරා එම කඹය අල්ලා ගත් පසු ඇය ගොඩට ගැනීම සඳහා ඔහු සිය බිරිය හා උත්සාහ කළද එය ව්‍යර්ථ විය. එබැවින් අසල් වැසියන්ගේ අධාර ඉල්ලා කෑ ගැසූ අතර ඔවුන් පැමිණ සන්දරා ළිෙඳන් ගොඩට ගත්තේය.
පසුව එම ස්ථානයේ සිටි අයකු 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ ත්‍රිත්ව ඝාතනය පිළිබඳ දැන්වූ අතර තවත් අයකු තාන්ඩිකුලම් නවකුරුමන්ණාඩු පොලිස් මුරපොළ වෙත ගොස් ඒ බව දන්වා තිබිණි. පොලිස් මුරපොළෙන් එම තොරතුරු වවුනියාව මූලස්ථාන පොලිස්
පරීක්ෂක චන්න අබේරත්න මහතාට දැන්වූ අතර එහි අපරාධ අංශ ස්ථානාධිපති ජයතිලක ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට යන විට දිවි ගැලවුණු සන්දරා පොළොවේ හැපෙමින් හඬා වැටෙමින් සිටියාය. කිරිබොන වයසේ පසුවන දරුවෙක්ද ඇයට සිටී. ඒ දරුවා වෙනුවෙන් ඇයගේ දෙතනේ පිරිණු කිරි දියබත් වූ බ්ලවුසය පසාරු කරගෙන පහළට වෑහේ. දරුවන් කෙරෙහි වූ මහත් සෙනෙහස හේතුවෙන්, ඔවුන් විඳීනා දුක් කන්දරාව දෙස බලා සිටිය නොහැකි තැන ඇය දරුවන්ද මරා තමාද මිය යාමට උත්සාහ කළ ද එම තැත වැරදී ගියේය. දැන්.. සිය පණවන් දියණියන් තිදෙනා මිය ගොසිනි. තමා ජීවතුන් අතරය. දරුවන් මිය ගිය දුක ඇයට උහුලා ගත නොහැකිය. දරුවන් තිදෙනා ළිඳට දැමූ ඇය කලබලයේ ළිඳට පැන්නද ඇය ළිඳ තුළට වැටුණේ නැත. බොලොක්කයට දමා තිබූ කඹයේ පැටලුණ ඇය ළිඳ තුළට පැනීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී ගියේය.
කඹයේ පැටළුණ ඇය දඟලන විට තව තවත් එහි පැටළුණ අතර ඊළඟට ජීවත් වීමේ ආසාවක් ඇයගේ සිතට දැනිණි. ඉන් අනතුරුව කඹයේ එල්ලුන ඇය ආධාර ඉල්ලා කෑගැසූ බැවින් ඒ හඬ ඇසුණු අසල්වාසීන් පැමිණ ඇයගේ දිවි බේරා ගත්තේ ඉන් පසුවය.
සිය කුසින් වැදූ දියණියන් තිදෙනා ළිඳට දමා ඝාතනය කිරීමේ චෝදනාවට ඇගේ දෑතට මාංචු දැමූ පොලිසිය මුලින්ම කළේ ඇය පොලිස් ස්ථානය වෙත කැඳවාගෙන ගොස් ඇයට විවේක ගැනීමට අවස්ථාව සලසා දීමය.
ළිං ජලයෙන් තෙමීගිය ඇඳුම් ටිකෙන් ටික වියැළී යයි. එහෙත් ඇයගේ තනපුඩුවලින් වෑහෙන කිරි ප්‍රවාහය නොනැවතෙන අයුරකි. වේළී නොයන සෙයකි. පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කරද්දී ද ඇයගේ දෙතනින් කිරි ගලා ගියේ පරීක්ෂණ නිලධාරීන්ගේ ද හදවත් කම්පාවට පත්කරමිනි.
ඇයගේ දෑසින් වෑහෙන කඳුළු ගංඟාව හමුවේ සැමගේ හදවත් උණු වී ගියද ඇයගේ ශෝචනීය කතා පුවත ඇසූ ඔවුන්ගේ දෙනෙතට කඳුළක් උපන්නද කළ හැකි දෙයක් නොමැත. නීතිය ඊට වඩා වෙනස්ය. නීතිය හමුවේ ඇය මනුෂ්‍ය ඝාතන තුනක් සිදුකළ කාන්තාවකි.
වවුනියාව අධිකරණයට ඉදිරිපත් කළ ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ ද ඇය අනුරාධපුර බන්ධනාගාර රෝහලට යවා නේවාසිකව ප්‍රතිකාර ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මියගිය දරු තිදෙනාගේ සිරුරු බාර ගැනීමට පියා ඉදිරිපත්ව සිටියේය. දරුවන්ගේ සිරුරු ඔහු බාර ගත්තද අවසන් කටයුතු සිදුකළේ වවුනියාව පොලිසියේ මැදිහත් වීමෙනි. අවමංගල්‍ය සඳහා සියලු වියහියදම් දැරුවේ ද පොලිසිය විසිනි.
වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ජයතිලක, උ.පො.ප. සිරිමාන්න, පො.සැ. 58522 අශෝකා, පො. කො. 36099 වික්‍රමසූරිය, පො.කො. 61461 දිලීප්, පො.කො. 56604 බංඩාර, පො.කො. 74631 සෙනරත්, පො. කො. 83949 උදිත, පො.කො. 84463 ගමගේ, පො.කො. 86404 චාමර, පො.කො. 61384 රාජකරුණා, පො.කො.රි 11828 කුලතුංග යන නිලධාරීහු පරීක්ෂණවල නිරත වූහ.
තක්ෂිලා ජයසේකර
ඡායාරූප – පි‍්‍රයන්ත පෙරේරා කළුකුන්නන්මඩුව වවුනියාව
-සබැදි පුවත්-
1. දරු තිදෙනා සමඟ මවක් ළිඳට පනී - Mother jumps into well with her children
-සබැදි පුවත්-
1. දරු තිදෙනා සමඟ මවක් ළිඳට පනී - Mother jumps into well with her children