බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහනය අද

"ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහයට ගෞරව කිරීමට විශාල පිරිසක්‌ එති"

ගිනි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලබා අපවත්වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (28 වැනි දින) සවස 4.00ට කහවත්ත පොරෝනුව විදුහල් භූමියේදී සිදුකරන බව අවමඟුල් උත්සව කමිටුව නිවේදනය කර තිබේ. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා විසින් ලබාගෙන ඇති අධිකරණ නියෝගයක්‌ පිළිබඳව සිහිකැඳවීම් කිරීමෙන් පසුව මෙම ආදාහන කටයුතු අද සිදුකිරීමට තීරණය කර තිබේ.
පොලිසිය හා හමුදාව විසින් ප්‍රදේශයේ ආරක්‌ෂාව තහවුරු කර ඇති අතර විශාල පිරිසක්‌ දේහයට ගෞරව දැක්‌වීමට පැමිණෙමින් සිටිති.

1984 වසරේදී බලන්ගොඩ බෝවත්ත ප්‍රදේශයේදී උපත ලත් උන්වහන්සේ බෝවත්ත විදුහලේ අ. පො. ස. සා. පෙළ සමත්වන තෙක්‌ අධ්‍යාපනය ලබා පනාවැන්න පොරෝනුව සුගතාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති පැල්මඩුල්ලේ වජිරඥාන නාහිමියන් යටතේ පැවිදි දිවියට පත්වූහ. පසුගිය 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාව සඳහා තරඟකර මනාප ඡන්ද 3067 ක්‌ ලබා ගනිමින් මනාප ලැයිස්‌තුවේ හයවන ස්‌ථානයට පත්වී එ.ජ.නි. ස. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වශයෙන් සේවය කළහ.

එතැන් සිට 2012 වසරේ මුල් භාගය දක්‌වා ප්‍රාදේශීය සභාව නියෝජනය කළ අතර සභාවාර හයක්‌ නොපැමිණීම නිසා මන්ත්‍රී ධුරය අහිමිවිය.

ගව ඝාතනයට එරෙහිව දැඩි ලෙස ක්‍රියා කළ උන්වහන්සේ ජාතික හෙළ උරුමයට සම්බන්ධවී කටයුතු කළ අතර ගවමස්‌ කෑමේ ආදීනව ගැන දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව වෙත දේශන පැවැත්වූහ.

ප්‍රදේශය පුරා පොලිස්‌ ආරක්‌ෂාව යොදවා ඇති අතර ඊයේ සහ අද දිනයන්හි කහවත්ත නගරයේ සුරාසල් හා මස්‌කඩ වසා දැමීමට වෙළඳ ප්‍රජාව තීරණය කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive