"එවැනි නියෝගයක් නෑ"- නිලධාරීහු පවසති
කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සමගි පෙරමුණේ මහලේකම් අසාද් සාලි මහතා කොලොන්නාව ප්‍රදේශයේ නිවසක සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද උදෑසන අත් අඩංගුවට ගෙන ඇත.
රට තුළ නැවත ත්‍රස්තවාදය ඉස්මතුවන ආකාරයට ප්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අසාද් සාලි මහතා මෙසේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි මාර්ග කීය. ශ්‍රී ලාංකීය මුස්ලිම් තරුණයන්ට ආයුධ අතට ගැනීමට කාලය එළැඹ ඇති බවට වෙබ් අඩවියකට සහ ඉන්දීය සඟරාවකට ප්‍රකාශ නිකුත් කළැයි ඒ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.එහෙත් මෙසේ අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙර අසාද් සාලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසිම අවස්ථාවක එවැනි ප්‍රකාශයක් නිකුත් නොකළ බවත් විවිධ චෝදනා එල්ල කරමින් රජය තමා අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන බවත්ය.
රහස් පොලිස් ආරංචි මාර්ග පැවසුවේ ත්‍රස්තවාදය නැවත ඇතිකරවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව සිටි අසාද් සාලි මහතා දින කීපයක් තිස්සේ පොලිසිය මගහරිමින් සැඟවී සිටි බවයි.
ඒ මහතා කොලොන්නාව ප්‍රදේශයේ සිය දියණියට අයත් නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත ඊයේ අලුයම එහි ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.මෙම වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද රහස් පොලිසියේ සහායට එහි ගොස් සිටියහ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ගිය අවස්ථාවේ අසාද් සාලි මහතාගේ දියණිය ප්‍රකාශ කර ඇත්තේ තම පියා නිවසේ නොමැති බවයි.
ඒ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා ඇත්තේ අසාද් සාලි මහතා මෙම නිවසේ සිටින බව තමන් තහවුරු කරගෙන පැමිණ සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුනහොත් කරදර සිදුවීමට ඉඩ තිබෙන බවත්ය.එහි දී අසාද් සාලි මහතාගේ දියණිය තම පියා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් තිබේදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා ඇත.
ඒ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ තමන්ට එවැනි අධිකරණ නියෝගයක් නොමැති බවය.පසුව එම නිවසේ සිටි අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර වී ඇත.අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඒ මහතා එම මූලස්ථානය වෙත රැගෙන ගොස් ඇත්තේ උදේ 7.30 ට පමණය.
අසාද් සාලි මහතාගේ දියණිය මෙහිදී කියා සිටියේ නීතිඥවරුන් සමඟ තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස එම නිලධාරීන් පැවසූ බවයි.
මෙම සිද්ධියෙන් පසු විපක්ෂ දේශපාලනඥයෝ රැසක් අසාද් සාලි මහතා රැඳී සිටි නිවසට පැමිණ තොරතුරු විමසූහ. ඒ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, ආචාර්ය හර්ෂද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරු ද වූහ.
අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියේය.