ලංකාවට පිටරටින් ශ්‍රමිකයෝ

ඇඟලුම් කම්හල්වල සේවයට විදේශීය ශ්‍රමිකයන් ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. මේ සම්බන්ධයෙන් දැනටමත් ආයෝජන මණ්ඩල නියෝජිතයන් පිරිසක් සහ ඇඟලුම් කම්හල්හිමියන් පිරිසක් අතර සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත.

ආයෝජන ප්‍රවර්ධන කලාප ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට කටුනායක, බියගම සහ කොග්ගල වෙළෙඳ කලාපවල සේවක, සේවිකාවන්ගේ හිඟයක් මතු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය දැනුම්වත් කිරීමෙන් පසු අදාළ සාකච්ඡා පවත්වා ඇත.කෙසේ වෙතත් නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති සඳහන් කරන්නේ ඇඟලුම් කම්හල්වල ගෙවන අවම වැටුප සහ ලබාදෙන අවම පහසුකම් නිසා සේවක - සේවිකාවන් රැකියා අත්හැර දමා යෑමට පෙලැඹී ඇති බවයි.කම්කරු නීති තිබුණද, ඒවා නිදහස් වෙළෙඳ කලාපවලට අදාළව නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් යටතේ ඔවුන්ට වෙනත් විකල්පයක් නැති බවද එම වෘත්තීය සමිති පෙන්වා දෙති.


මෙලෙස විදේශීය ශ්‍රමිකයන් ගෙන්වන්නේ කුමන රටකින්ද, ඊට අදාළ ගිවිසුම් අස්සන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ තවමත් නිශ්චිත තීන්දුවක් ගෙන නැති බවද දැනගන්නට ඇත.කෙසේ වෙතත් මෙරට විරැකියා ප්‍රතිශතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන තත්ත්වයකදී ආණ්ඩුව මෙවැනි තීරණයක් ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සමිති පෙන්වා දෙති.

Gossip Lanka Hot News Previous News Archive