පොලිස් නිලධාරියකු සිසුවකුට දතක් කැඩෙන්න ගහලා !

දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම විදුහලේ 05 ශ්‍රේණියේ සිසුවකුට දෙහිඅත්තකණ්ඩිය පොලිස් නිලධාරියකු විසින් 20 දින පස්වරු 1.30ට පමණ දතක් කැඩෙන්න පහර දී ඇති බව සල්පිටගම අනවසර ගම්මානයේ පදිංචි මව හා පියා විසින් 1929 ඔස්සේ ළමා අධිකාරියට 2 දින රාත්‍රියේ දැනුම්දීමක් කරනු ලැබ ඇත.

පොලිසිය මඟින් මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ සල්පිටිගම අනවසර ගම්මානයේ පදිංචි සල්පිටිගම විදුහලේ 05 වසරේ ඉගෙනුම ලබන පසිඳු දිල්ෂාන් (10) සිසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවා මෙසේ කියා සිටියේය.

සල්පිටිගම විදුහලට 19 දින පස්වරුවේ, 03 පන්තියේ තිබුණ සරුංගලය ගේන්න චාමරයි මමයි ගියා. එම පන්තියේ තිබුණු පොල්තෙල් පහන භූමිතෙල් දමා අපි පත්තුකරන කොට මේස රෙද්ද ගිනිගත්තා. ඒක නිවලා අපි ගෙදර ඇවිත් 20 දින විදුහලට යනකොට ඉස්කෝලේ සර්ලා අපි පොත් සොරකම් කළා කියලා අපිට කීවා. අපි පොත් සොරකම් කළේ නැහැ. පසුව 20 දින දහවල් 1.30ට පමණ දෙහිඅත්තකණ්ඩියේ පොලිසියෙන් ඇවිත් මට කම්මුලට ගැහැව්වා. මගේ දතක් කැඩිලා ගියා.

 එම සිසුවාගේ මව වන එස්.එම්.කේ.ජී. සමරකෝන් මහත්මිය මෙසේ කීවාය.
'මහත්තයෝ අපි අන්ත අසරණ දුප්පත් අයයි. එදා වේල හොයාගන්නේ කුලියක් කරලයි. අපිට උසාවි ගාණේ පොලිසි රෝහල් ගාණේ යන්න සල්ලි නැහැ. පොත් සොරකම් කෙරුවා කියනවා. මේ වගේ වැරැද්දකට දතක් කැඩෙන්න ගහන්න පුළුවන්ද? 21 දින උදේ 08.00ට පොලිසියට එන්න කියලා තියෙනවා. පුතා බදුල්ලේ රිමාන්ඩ් කරනවා කියලා තියෙනවා' යැයි පැවැසුවාය.

20 දින දෙහිඅත්තකණ්ඩිය පරිවාස කාර්යාලයේ නැඟෙනහිර පළාතේ පරිවාස කොමසාරිස්වරයා ළමා සංවර්ධනය හා ළමයින් ආරක්‍ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කර පිටත්ව යන විටම මෙම සිදුවීම සිදුවී ඇති බව රාජ්‍ය නිලධාරීහු කිහිපදෙනකු පැවැසූහ.

Gossip Lanka Hot News Previous News Archive