‘මහසෙන්’ නම පාවිච්චි කළාට කාලගුණයට නඩු

නැඟෙනහිර සුළි කුණාටුව මේ රටේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයෙක් වූ ''මහසෙන්" නමින් නම් කර සිදුකර තිබෙන සාපරාධී ක්‍රියාව සම්බන්ධව, දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීම සඳහා වූ ජාතික සභාව රහස් පොලිසියට අද (16) පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීම සඳහා වූ ජාතික සභාවේ මහලේකම් නිමල් වීරතුංග මහතා අවධාරණය කරයි.

රජයේ ප්‍රමුඛ ආයතනයක් ලෙස මෙය නොසලකා හැරීම තුළින් වැරදි පූර්වාදර්ශයක් සමාජය තුළ ජනිත වන බවද වීරතුංග මහතා පෙන්වා දුන්නේය.මේ ක්‍රියාව ජාතිද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙන බවද, ලාංකික ජනතාව දේවත්වයෙන් පුදන රාජ නාමයක් ප්‍රචණ්ඩ කුණාටුවකට යෙදීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ඒ අනුව එහි වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ඉල්ලා සිටින බවද හෙතෙම කීවේය.සමාජය තුළ පරවේණිකව මුල්බැසගත් ආගමික සහ ජාතික සංකල්ප සහ සංකේතවලට හානි පමුණුවමින් පෞඩ ඉතිහාසය දුර්වර්ණ කිරීමට දෙස් විදෙස් කුමන්ත්‍රණ දියත්වන මොහොතක මේ සාහසික අර්ථ දැක්වීම පිටුපස සිටින්නේ කවුරුන් දැයි එළිදරව් කරගැනීමට අප කටයුතු කරමින් සිටින බවද වීරතුංග මහතා කීය.


පුලතිසි රාජධානියේ සශ්‍රීකත්වය තුළින් මුලු රටම එක්සේසත් කොට ''මින්නේරි දෙවියන්"" ලෙස දේවත්වයට පත්වූ මහසෙන් රජුන්ගේ ජාති හිතෛෂී කැපවීම, එතුමාගේ කීර්තිය, ගෞරවය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය අප ඉදිරියේදී ගනු ලබන බවද නිමල් වීරතුංග මහතා වැඩිදුරටත් කීවේය.

Gossip Lanka Hot News Previous News Archive