Pages

අසාද් සාලිගේ ප්‍රකාශය මුළු රටටම එරෙහිව කළ දෙයක්

 ‘‘ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ ගැනීම හැර වෙනත් මාර්ගයක් නොමැත’’

*ප්‍රධාන චෝදනා 5ක් තිබෙන බව රජය අවධාරණය කරයි
* බහුතරයක් මුස්ලිම්වරු රජය සමඟයි
* මුස්ලිම් ජනතාවත් කුපිත කරවනවා
*චෝදනා ගොනු කළේ ත්‍රස්ත පනත යටතේයි

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී අසාද් සාලි මහතා තමිල්නාඩුවේදී කර ඇති ප්‍රකාශය සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවටම විරුද්ධව කළ ප්‍රකාශයක් බව රජය අවධාරණය කරයි. සැකකරු විසින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පළවන ප්‍රකාශනයක් වන ජූනියර් විකටන් සඟරාව සඳහා මාධ්‍ය සාකච්ඡාවක් ලබා දී එය 2013.04.24 දින කලාපයේ පිටු අංක 24 සහ 25 හි පළවී ඇත. එහි ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආයුධ ගැනීම හැර වෙනත් මාර්ගයක් නොමැත යනුවෙන් සඳහන්ව ඇත.

එසේම අන්තර්ජාලයේ http://www.vikatan.com වෙබ් අඩවිය හරහා උක්ත සඟරාව ලොව පුරා ප්‍රචාරය කිරීමටද සලස්වා ඇත. මේ සඟරාවේ පළවී ඇති ප්‍රශ්නගත වාර්තාව කියවා එහි අනතුරුදායක තත්ත්වය පිළිබඳ මහජනතාව අතුරින්ද පැමිණිලි වාර්තා වී ඇත.
එයට අදාළ පැමිණිලි සටහන් කරගෙන ද ඇත. ඉහත තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත හා ලද පැමිණිලි අනුව සැකකරු විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 මගින් විග්‍රහ කර ඇති වැරදි වන ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම වැසියන් අතර අසන්තෝසය හෝ විරුද්ධත්වය ඇති කිරීමට හෝ පන්ති අතර සතුරු වූද අසමගි වූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමේ වරදට ද එම වරද කියා දී 2013. 05. 02 දින පෙරවරු 07.00 ට කොලොන්නාව, ගාමිණි පාර, සාලමුල්ල අංක 25 දරණ ලිපිනයේ සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමට පෙර කිහිප වතාවකදී වාචිකව හා ලිඛිතව මොහොමඩ් අසාද් සනුන් සාලි හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දුන්නද ඔහු එසේ නොපැමිණ ඉහත ලිපිනයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙරට වාසීන් අතර ඇති සමගිය හා සහයෝගීතාවය බිඳ දමමින් මුස්ලිම් ජනතාව කුපිත කිරීමට මේ ප්‍රකාශය මුල්විය හැකි බව ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා පවසයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුල් යු‍ගයේ දී ද ප්‍රභාකරන් අපේ රට පිළිබඳ විදෙස් රටවලදී මෙවැනි ප්‍රකාශ කර ඇතත් එදා පැවැති ආණ්ඩු ඊට කිසිදු පියවරක් නොගත් නිසා ලොව ප්‍රබලම හා භයානකම ත්‍රස්තවාදී කණ්ඩායම බවට එය වැඩුණු බව හෙතෙම පෙන්වා දෙයි. එසේ නිහඬ ප්‍රතිපත්තියක් ගෙන යමින් ඔවුන්ට වැඩෙන්නට ඉඩ දීම ගැටලු සහගත බවද ඔහු පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ දී ඊයේ (06) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හුළුගල්ලේ මහතා මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී එම අදහස් පළ කළේය. තවදුරටත් පිළිතුරු සපයමින් මෙසේද කීය.

ජූනියර් විකටන් සඟරාවේ පළවූ වාර්තාව

මුස්ලිම් ජාතිකයෙකු ලෙස අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන නැහැ. රජය සමඟ හොඳ හිත පතුරවමින් මුස්ලිම් ජනතාව සහ නායකයින් සහයෝගයෙන් ක්‍රියා කරනවා. නැඟෙනහිර වැඩි පිරිසක් මුස්ලිම්.

වැඩි සංවර්ධනයක් යටිතල පහසුකම් ඒ ප්‍රදේශයට ලබාදී ජනතාවට උපරිම ලෙස ආණ්ඩුව සහය දී තිබෙනවා. මෙරට මුස්ලිම් බහුතරය රජය සමඟ ඉන්නේ.

ජාත්‍යන්තර මානව හිමිකම් ගැටලු වලදී මුස්ලිම් රටවල් තමයි අපට ළඟින්ම සිට උපකාර වුණේ. මෙරට මුස්ලිම් ජනතාවට මේ රජය සුළු ජාතීන් ලෙස නොවෙයි පොදු ලෙසයි යුතුකම් ඉටු කරන්නෙ. මෙසේ සාමයෙන් සමඟියෙන් එක්ව ක්‍රියා කරන ජනතාව භේද බින්න කිරීමේ අරමුණෙන් අසාද් සාලි මහතා තමිල්නාඩුවේ චෙන්නායි වෙත ගොස් රටට විරුද්ධව ප්‍රකාශයක් සිදු කර තිබෙන්නෙ.

මේ පිළිබඳව මෙන්ම මූල්‍යමය වංචා සිද්ධි කීපයක් පිළිබඳවත් ඔහුට විරුද්ධව රහස් පොලිසියට පැමිණිලි ඇවිත් තිබෙනවා.

ප්‍රධාන චෝදනා පහක් ඇතුළු චෝදනා ගණනක් ඔහුට විරුද්ධව ගොනු වෙලා මේ නිසා සාමාන්‍ය මෙරට පුරවැසියෙකු ලෙස මොහු පිළිබඳ පරීක්ෂණ අරඹා තිබෙන්නෙ. ත්‍රස්තවාදී පනත යටතේයි ප්‍රධාන චෝදනා ගොනුව ඇත්තේ.

මොහු කර ඇති ප්‍රකාශය මෙරට මුස්ලිම් ජනතාවට කළ අපහාසයක්. මූලධර්මවාදය සමඟ ලොව පුරා පැතිර යමින් පවතින කැරළිකාර ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට යහපැවැත්ම සඳහා මොහු ගැන පරීක්ෂණ පැවැත්වේ. මීට පෙරද නිහඬව සිටීම නිසා ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ. ය ව්‍යාප්ත කිරීම වැනි මෑත කාලීනව අප අත්දැක ඇති ක්‍රියා නිසා නැවත වරක් එවැනි වරදක් සිදු වන්නට නොදී සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට සමඟියෙන් ජීවත් වීමට හැකි පරිසරයක් සැකසීමට අප නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

දිනමිණ පුවත්පත ඇසුරිනි
.